දෙමාපියන් හා දරුවන්, සහොදර සහෝදරියන්, අඹු සැමියන්, සීයා/ආච්චී, අත්ත/අත්තම්මා ආදීන්, මාමලා, නැන්දලා, වෛවාහික ඥාතීන් හෝ වෙනත් පවුල් නෑසබඳතා ඇති පුද්ගලයන්ට හෝ සහවාසයේ යෙදෙන සහකරු ආදීන් අතර ප‍්‍රචණ්ඩත්වයන් හා හිංසනයන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ලෙස පිළිගැනේ. විශේෂයෙන්ම කාලාත‍්‍රයන් හෝ සහවාසයේ යෙදෙන සහකරුවන්, හා එකට ජීවත් වන කලින් සිටි සහකරුවන් යන මේ ආදීන් අතර සිදුවන හිංසනයන් ගෘහස්ථ පීඩනයට ඇතුළත් වේ. ගෘහස්ථ පීඩනයට කාන්තාවෝ ද අපරාධකරුවන් විය හැකිය. එහෙත් දැනට මෙහෙයවා ඇති පර්යේෂණවලින් නම් හෙළි වී ඇත්තේ අපරාධකරුවන්ගෙන් වැඩි දෙනා පිරිමි බවත් හිංසනයන්ට ලක්වන වැඩි දෙනා ගැහැණුන් හා ගැහැණු ළමුන් බවත් ය.



ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ට යහළු මිත‍්‍රාදීන්ගේ හා පවුලේ සෙසු අයගේ සහාය ලැබිය යුතුය. එවැනි තත්වයකට මුහුණ පා සිටින කාන්තාවකට එම තත්වයේ රැඳී සිටීමට බල නොකළ යුතුය. හිංසනය කරන්නා කාලත‍්‍රයා නම් හෝ එකට වාසය කරන සහකරුවෙක් නම් ඔහු සිය වරද පිළිගෙන එවැනි හිංසන නැවත සිදු නොවීමටත්, එවැනි ප‍්‍රචණ්ඩත්වයන් නවතාලීමට නිසි පියවර ගන්නා බවටත් එකඟවන්නේ නම් පමණක් හිංසනයට පත්ව සිටින කාන්තාවට එම සම්බන්ධතාවයෙහි ඉදිරියට රැඳී සිටීම අනුමත කළ හැකිය. දරුණූ සාහසික සහකරුවෙකු සමග රැඳී සිටීමට බල කිරීම හෝ අනුබල දීම ඇය උග‍්‍ර ශාරීරික පීඩාවන්ට හෝ මානසික අසහනයකට පත් කෙරෙන අවදානමක් විය හැකිය.



ගෘහයේ ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන්ගේ ශාරීරික හා මානසික යහපතට දැඩි අවදානමක් විය හැකි බව වෛද්‍ය පර්යේෂණවලින් පෙන්වා දී ඇත. නිවස තුළ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය දකින ළමයි විටෙක හුදෙකලාව සිටීමට මුළු ගැන්වෙති. එසේත් නැතහොත් සමූහයන් අතර දී හා සමාජය තුළ දරුණු ලෙස හැසිරෙති. එසේම අනාගතයේ දී සිය පවුල් තුළ දරුණු චරිත බවට පත්වෙති. එහෙයින් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය නිහඬව පිළිගත යුත්තක් නොවේ. සිය පවුල තුළ ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රථම වතාවට නිහඬව විඳ දරා සිටින කාන්තාව ඊට එරෙහිව නැගී නොසිටින්නේ නම් ඉදිරි අනාගතයේ දී තව තවත් හිංසනයන්ට ගොදුරු වන්නේමය. ‘භින්න වූ පවුලක’ කිසියම් කාන්තාවක් හෝ ළමයෙක් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක්වේ නම් එම සිද්ධීන් වහා වාර්තා කළ යුතුය. ප‍්‍රචණ්ඩත්වය නැවැත්වීමට ගන්නා වූ සියලූ පියවර අස්වාභාවික වේ නම් කාන්තාව හෝ එම දරුවාට සහනය ලැබෙන පියවර ගත යුතුය.

මත්ද්‍රව්‍ය, මත්පැන් පරිහරණය හෙවත් බීමත්කම හෝ මානසික අසහනය නිසා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සිදුවන බව මිථ්‍යා විශ්වාසයකි. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රධාන හේතුව පීඩාවට පත්කරන්නා හිංසනයට භාජනය වන අය කෙරෙහි හිංසාකාරී ලෙස ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීමට තෝරා ගැනීමයි. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට හේතුව බැටකන කාන්තාවගේ වරද නොවේ. පර්යේෂණවලින් පෙනී යන්නේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පිළීගත යුතු සාධාරණ සිදුවීමක් ලෙස පිළිගෙන එවැනි සිද්ධීන්ට විරුද්ධව නීතියේ සහාය ලබාගැනීමට කාන්තාවන් අදිමදි කරනා බවය’ කෙසේ වුවත් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එය නීති විරෝධීව සමාජය විසින් පිළීගත නොහැකි අපවාදාත්මක හැසිරීමකි. එසේම කාන්තා මානව අයිතිවාසිකම් කඩ කිරීමකි. ශී‍්‍ර ලංකා ජනරජයේ 2005 අංක 34 දරන ගෘහස්ථ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැළැක්වීමේ පනතට අනුව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය යනු පෞද්ගලික ස්වභාවයේ සමීප සම්බන්ධතාවකින් බැඳි පුද්ගලයන් අතර නිවසේ පරිසරය තුළ දී හෝ ඉන් පිටත දී හටගන්නා හිංසනයයි. මෙම ප‍්‍රචණ්ඩකාමී කි‍්‍රයාවන් ශාරීරික, ලිංගික හෝ උද්වේගශීලී හිංසන විය හැකිය.

 

සංස්කෘතික

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවීය සමාජකරණය.
ගැහැණු පිරිමි ලිංගික කාර්යභාරයන් පිළිබඳ සංස්කෘතික අර්ථ දැක්වීම.
සම්බන්ධතාවන් තුළ අපේක්ෂිත ගැහැණු පිරිමි කාර්යභාරයන්.
ජන්මයෙන්ම පිරිමින්ට උරුම යැයි සැලකෙන ශ්‍රේෂ්ඨත්වය.
පිරිමින්ට, ගැහැණු හා ගැහැණු ළමයින් සම්බන්ධව අයිතියක් ඇතැයි නිගමනය කෙරෙන සමාජ සාරධර්ම.
පවුල පුද්ගලික සමාජ ඒකකයක් යන්න හා එය පුරුෂ පාලනය යටතේ පවත්නේය යන මතය.
විවාහය ආශි‍්‍රත දෑවැද්ද වැනි චාරිත‍්‍ර.
ගැටුම් නිරාකරණය උදෙසා ප‍්‍රචණ්ඩත්වය භාවිතය පිළිගැනීම.
මෙම ප‍්‍රචණ්ඩත්වය කෙරෙහි මාධ්‍යය අප‍්‍රමාණවත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම.

ආර්ථික

ආර්ථික වශයෙන් ගැහැණුන් පිරිමින්ගෙන් යැපීම/කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වයට පිරිමි එරෙහි වීම/නොරිස්සීම.
මුදල් හා ණය ලබාගැනීම්, කාන්තාවන් සීමාසහිත වීම.
දේපළ උරුමය, දේපළ පිළිබඳ අයිතිවාසිකම්, පොදු ඉඩම් ප‍්‍රයෝජනයට ගැනීම, දික්කසාද වීමෙන් හෝ වැන්දඹු වීමෙන් පසු නඩත්තු ලබාගැනීම ආදියෙහි දී කාන්තාවන් අවාසිදායක ලෙස බලපාන නීති.
විධිමත් හා නොවිධිමත් ක්ෂේත‍්‍රයෙහි රැකියාවන් කාන්තාවන්ට සීමාසහිත වීම.
අධ්‍යාපනය හා පුහුණු ක්ෂේත‍්‍රයෙහි දී කාන්තාවන්ට විවෘත වන අවස්ථා සීමාසහිත වීම.

නීතිමය

කාන්තාවන්ට අවාසිදායක ලෙස වෙනස් කොට සැලකීම ද මේ හේතුවෙන් ලිඛ්ත නීතිවල මෙන්ම නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී හා පරීක්ෂණ කටයුතුවල දී කාන්තාවන් එය නෛතික තත්වය/බලය අඩුවීම, උදාහරණ - දික්කසාද වීම, දරුවන්ගේ භාරකාරත්වය, නඩත්තු හා දේපළ උරුමය මීට නිදසුන්ය.
නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී පොලීසිය හා අධිකරණ පද්ධතිය විසින් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අසංවේදීව සැලකීම.
ස්තී‍්‍ර දූෂණය, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය හා ලිංගික අඩන්තේට්ටම යනාදියට නීතිමය වශයෙන් වුව අර්ථ දැක්වෙන ආකාරය.
කාන්තාවන් අතර නීතියම සාක්ෂරතාව හෙවත් නීතිය පිළිබඳ අවබෝධය අඩු/මද වීම.

දේශපාලනික

ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර ප‍්‍රශ්නයක් ලෙස පිළිනොගැනීම.
පවුල පුද්ගලික සංසදයක් බව හා එය රජයේ පාලනයෙන් ඔබ්බෙහි වූවක් යැයි යන අදහසපවත්නා සමාජ යථා තත්වයන් /ආගමික නීති අභියෝග කිරීම අවදානමක් ලෙස සැලකීම.
සංවිධානාත්මක දේශපාලන ක‍්‍රම, නීතිමය හා වෛද්‍ය වෘත්තීන්හි ප‍්‍රමාණවත් කාන්තාවන් පිරිසක් නොසිටීම.

 

උදාහරණයක්:

පුද්ගලයින්ගේ අනන්‍යතාව සුරැකීම පිණිස සැබෑ නම් වෙනස් කර ඇත. සෝමාවතීගේ වැඩිමහල් පුතා විවාහ වූවාට පසු ඇගේ නිවසේම පදිංචි විය. ඇගේ ලේලිය වූ කුසුමාවතී හා ඇය අතර සුහච සම්බන්ධතාව පැවතුණේ කෙටි කාලයකට පමණි. කුසුමා රණ්ඬු දඹර කරන්නට හා සෝමාවතීට වෙනස්කම් කරන්නටත් පටන් ගත්තේය. මව හා පුතා අතර සම්බන්ධතාව ද තරමක් අයහපත් විය. සෝමාවතී ඇගේ නිවසේම හිරිහැරකාරී තත්වයකට පත්වූවාය. එක් රාති‍්‍රයක දබරයකින් පසුව කුසුමා කෑ ගසමින් පාරට දුවගොස් ගෙදරින් පිටව ගියාය. පොලීසියෙහි පැමිණිල්ලක් ගොනු කරනු ලැබිණ.

 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පැමිණිලි කිරීම

ඔබට සෑම විටම සෘජුව උපකාර ලබාගත හැකිය. නමුත් තනිව උපකාර සොයා යාමට ඔබ තුළ බියක් ඇත්නම් සෑම විටම ඔබගේ සහයට සමීප මිතුරකු හෝ පවුලේ සාමාජිකයකු එක්කර ගන්න.

පිළිගත් ආයතනයක උපදේශිකාවක් සමග කතා කරන්න. (සේවා සපයන්නෝ)
පොලීසියට පැමිණිලි කරන්න. (සේවා සපයන්නෝ)
අවුරුදු 18 ට අඩු නම් සිද්ධිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දෙන්න (සේවා සපයන්නෝ)
ඔබ යෙහෙළියකගේ / පවුලක / සමග හෝ ආරක්ෂාව සපයන නවාතැනකට ගොස් සුරක්ෂිත නිවහනක් ලබාගත යුතුය. (සේවා සපයන්නෝ)
ඔබට නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගත හැකිය. අදාළ නීති කියවන්න.


ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය එරෙහි නීති

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රිය වැළැක්වීමේ පනත ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රිය වැළැක්වීමට සඳහා වු සිවිල් විසදුමකට ඉඩ සලසන්නකි.
පීඩා විදි පක්ෂයට (ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නිසා අසහනයට පත් වු පක්ෂයට: ඒ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනුයේ හෝ සිදු කිරීමට ඉඩ ඇත්තේ යම්කෙනෙකු විසින්ද ඒ තැනැත්තා විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම වැලැක්වීම උදෙසා ආරක්ෂාකිරීමේ අතුරු ආඥාවක් සහ/හෝ ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීමට මේ පනතින් ඉඩ සලසයි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා අසහනයට පත්වන අය පීඩාවට පත්වන තැනැත්තා ලෙස හඳින්වේ මීට හේතුව එම අය මෙම සිද්ධීන් නිසා හුදෙක් "ආපාදිතයකු" ලෙස සැලකීම වැළැක්වීමයි.
ගෘහස්ථ පරිසරය තුළ සිදුවන ඇතැම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ (1995 අංක 22 දරණ සංශෝධිත පනතේ) ද හිංසාව, බරපතළ හිංසාව, බරපතළ ලිංගික අපයෝජනය, සහ මනුෂ්‍ය ශරීරයට සිදුකෙරෙන අපරාධ වැනි පොදු සාපරාධී ක්‍රියා ගණයට අයත් විය හැක.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුකරන්නන් අතර ප්‍රධාන වනුයේ:

කාලාත්‍රයා
කලින්සිටි කාලාත්‍රයා (අත්හැර සිටින කාලාත්‍රයා)
සහවාසයේ සිටින සහකරු
(දෙමව්පියෝ) මව හෝ පියා
කාලාත්‍රයා හෝ කලින්සිටි කාලාත්‍රයා හෝ සහවාසය කරන සහකරු හෝ
පියා, මව, සීයා/ආච්චි/සුළු පියා හෝ සුළු මව
පුතා, දුව, මුණුබුරා, මිණිබිරිය, සුළු පුතා, සුළු දියණිය
සහෝදරයා, සහෝදරී, අර්ධ සහෝදරයා, අර්ධ සහෝදරිය, සුළු සහෝදරයා, සුළු සහෝදරිය
දෙමව්පියන්ගේ සහෝදරයකු හෝ සහෝදරිය (මාමා/බාප්පා හෝ නැන්දා/ පුංචිඅම්මා
සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ දරුවෙක්
දෙමව්පියන්ගේ සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ දරුවෙක්

බෑනා හෝ ලේලිය (එනම් තම දරුවකු සමඟ විවාහ වී සිටින අය) මෙම නීතියට ඇතුළත් නොවුනත්, ඔවුන් ද අපයෝජකයන් විය හැක. කෙසේ නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධානවලට අනුව එවැනි පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීමේ අයිතියක් පීඩාවට පත් පුද්ගලයා සතු වේ.


ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත යට තේ ඇති සහන:


මේ පනතට අනූකූලව අතුරු ආරක්ෂක ආඥාවක් හෝ ආරක්ෂක ආඥාවක් ඉල්ලා සිටිය හැක්කේ කාටද?

 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්ව සිටින අයෙකු මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අතුරු ආරක්ෂක ආඥාවක් හෝ ආරක්ෂක ආඥාවක් ඉල්ලා සිටීමට පුළුවන අතුරු ආරක්ෂක නියෝගයක් හෝ ආරක්ෂක නියෝගයක් නිකුත් කරනු ලැබුවාට පසුව හිංසනය කරන තැනැත්තාට තමන් විසින් හිංසා කරන තැනැත්තා කරා මොනයම් ආකාරයකින් හෝ යෑම/ඊම, සමීපවීම හෝ සම්බන්ධතාවක් ඇති කර ගැනීමට වෑයම් කිරීම තහනම් වේ. හිංසනයට පත්ව සිටින අයෙකු වෙනුවෙන් අතුරු ආරක්ෂක නියෝගයක් හෝ ආරක්ෂක නියෝගයක් ඉල්ලුම් කිරීමට පොලිස් නිළධරියෙකුට බලය ඇත.අවුරුදු 18 ක අඩු ළමයෙක් සම්බන්ධයෙන් නම්: එම ළමයාගේ දෙමව්පියෙකු, භාරකාරයෙකු හෝ එම ළමයා යම් අයෙකු සමඟ පදිංචිවී සිටී නම් එම අයෙකු හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ ළමයා රැදී සිටින භාරකාර අයෙකු විසින් හෝ ඉහත සඳහන් අතුරු ආරක්ෂක හෝ ආරක්ෂක නියෝග ඉල්ලා සිටිය හැකිය.


ආරක්ෂක නියෝගයක් ලබාගැනීම සඳහ ගතයුතු ක්‍රියා මාර්ගය කුමක්ද?


මහේස්ත්‍රාත් උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කළයුතුය

අවුරුදු 18 ට වැඩි අයෙකුට කෙලින්ම මහේස්ත්‍රාත් උසවියට හෝ තමන් වෙනුවෙන් නීතිඥවරයෙක් මගීන් හෝ පොලිස් නිළධාරියෙකු මගීන් හෝ ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකීය.
මහේස්ත්‍රාත් උසාවිය හිංසනය කරන තැනැත්තා පදිංචි ප්‍රදේශයට අයත් හෝ හිංසනය සිදුවු ස්ථානයට හෝ ඉදිරියේදී එවැන්නක් සිදුවිය හැකි ස්ථාන සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් උසවිය හෝ විය යුතුය.
හිංසනයට පත්වූ තැනැත්තාට ඉල්ලුම් පත්‍රයක් සාදාගැනීමට නීති ආධාර කොමිෂන් සභාවෙන් හෝ මානව හිමිකම් සංවිධානයකින් හෝ උදව් ලබා ගැනීමට පුළුව න. සේවා සපයන්නෝ
මහේස්ත්‍රාත් උසාවියට යාමට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත.
හිංසනයට පත්වූ හෝ පත්වන තැනැත්තා අවුරුදු 18ට අඩු ළමයකු නම් ළමයාගේ දෙමව්පියන්ගෙන් එක් අයකු හෝ භාරකරු විසින් හෝ ළමයා පදිංචි ස්ථානයේ සිටින අයෙකු හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් හෝ පොලිස් නිලධාරියෙකු විසින් හෝ ඉල්ලිමක් ඉදිරිපත් කළ හැකි වේ.
ප්‍රචණඩත්වය පිළිබඳ දන්නා කවුරුන් හෝ අයකුගේ/අයවලුන්ගේ දිවුරුම් ප්‍රකාශන ඉල්ලුම් පත්‍රයට අමුණන්න. (දිවුරුම් ප්‍රකාශනයක් යනු දිවුරුම් පත්‍රයක් අනුමත කර අත්සන් කිරීමට බලය ඇති ප්‍රසිද්ධ නොතාරිස්වරයකු වැනි අයෙකු ඉදිරිපිට ප්‍රකාශකර අත්සන් කරනු ලබන ලියවිල්ලකි. එවනි දිවුරුම් ප්‍රකාශයක් කරන අය තමන් දන්නා පමණින් මෙම අවස්ථාව පිළිබඳ සත්‍ය තොරතුරු මේ මේ ඒවායයි සහතික කර දිවුරුම් දෙති.)

 

මහේස්ත්‍රාත් අධිකරණයෙන් අතුරු/ආරක්ෂක නියෝගයක් ඉල්ලිම සඳහා යොදගත යුතු ඉල්ලුම් පත්‍රය

......... මහේස්ත්‍රාත් අධිකරණයේ දී ය
......... පදිංචි ඒ. බී. (පීඩාවට පත් තැනැත්තාගේ නම, විස්තරය සහ ලිපිනය, සහ ඔහු යම් නියෝජන තත්වයකින් නඩු පවරන්නේ නම් ඒ තත්වය සඳහන් කරන්න උදාහරන: අතෘප්තියට පත් තැනැත්තා ඔහුගේ භාරකරු හෝ සහාය මිතුරකු මගින් පෙනී සිටින බාලවයස්කරුවකු හෝ සිහිවිකල් තැනැත්තකු වන්නේ නම් මෙසේ කියන්න "බාලවයස්කරු ඔහුගේ සහාය මිත්ත්‍රයා වන ........... හි සී. ඩී. මාර්ගයෙන්") (පීඩාවට පත් තැනැත්තා).
එරෙහිව............ වයි. ඉසෙඩ් (අදාළ තැනැත්තාගේ නම, විස්තරය සහ ලිපිනය ................ වන අදාළ තැනැත්තා 20.. මස .... දින දී ය.
(ස්වකීය ලියාපදිංචි නීතිඥ සී. එච් මගින් පෙනී සිටිනා ඉහත නම් සඳහන් පීඩාවට පත් තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ පැමිනිල්ලේ මෙසේ සඳන් වේ:(මෙහි නඩුව පැවරීමට හේතු වන කරුණු සඳන් කරන්නා)
එම නිසා 20...මස... දින සිට බලපවත්වන පරිදී වග උත්තරකරුට එරෙහිව ආරක්ෂක ආඥාවක් පනවන ලෙස පීඩාවට පත් තැනැත්තා (හෝ පීඩාවට පත් තැනැත්තන්) ගරු අධිකරණයෙන් අයැද සිටී
......................................... අත්සන පීඩාවට පත් තැනැත්තා

 

 

අතුරු ආරක්ෂක නියෝගයක් නිකුත් කිරීම

ආරක්ෂක නියෝගය පිළිබඳ අවසාන පරීක්ශණය පැවැත්වීමට පෙර නියෝගයක් දිය යුතුයැයි මහේස්ත්‍රාත් තුමට/ තුමියට හැඟෙන අවස්ථවලදී අතුරු ආරක්ෂක නියෝගයක් නිකුත් කරනු ලැබේ.
පීඩාවට පත්වූ අයගේ සාක්ෂි අනුව මහේස්ත්‍රාත් තුමා/තුමිය සෑහීමකට පත්වේනම් අතුරු ආරක්ෂක නියෝගයක් නිකුත්කර ඉක්බිති එම ඉල්ලීමේ සිට දින දාහතරකට නොවැඩි දිනකදී ඒ පිළිබඳ විභාගයක් පවත්වනු ලැබේ.
අතුරු ආරක්ෂක නියෝගයක් නිකුත්කිරීමේදී තවත් ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට ඇති අවශ්‍යතාව සහ හිංසනයට ලක්වූ අයගේ ආරක්ෂාව ගැනද සැලකිලිමත්වනු ඇත.
ගෘහස්ත්ථ ප්‍රචණ්ඩත්වය පැමිනිල්ල සනාථ කිරීම උදෙසා සාක්ෂි වශයෙන් මීට ඉහතදී පොලිසියට යම් පැමිණිල්ලක් කරන ලද්දේ නම් එම විස්තරද, සිද්ධීන් දුටු අයගේ සාක්ෂි ආදිය උසාවියට අවශ්‍ය වනු ඇත.
අතුරු ආරක්ෂක නියෝගයක් අනවශ්‍යයි හැඟී ගියහොත් දින දහ හතරක් ඇතුළත පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත් වරයා/වරිය විසින් නියෝග කරනු ඇත.
නියමිත දිනකට පෙර තමාගේ කරුණු ඉදිරිපත් කරන ලෙසත්, ඔහුට විරුද්ධව ආරක්ෂක නියෝගයක් නිකුත් නොකිරීමට හේතු දක්වන ලෙසත් උසාවිය විසින් වග උත්තරකරුට දැනුම් දෙනු ඇත.

 

අතුරු ආරක්ෂක නියෝගයක් යනු කුමක්ද?

අතුරු ආරක්ෂක නියෝගයක් මඟින් හිංසනයක් සිදුකළ තැනැත්තා විසින් තවදුරටත් හිංසන සිදු කිරීම තහනම් කෙරේ.
මෙය තාවකාලික බල නියෝගයකි.
එහි වලංගුව පැවතෙනුයේ ආරක්ෂක නියෝගයක් නිකුත් කරන තුරු පමණි. එසේ නැතහොත් එම අතුරු ආරක්ෂක නියෝගය ඉවත් කෙරෙන තුරු පමණි.
අතුරු ආරක්ෂක නියෝගයක් හෝ ආරක්ෂක නියෝගයක් මත වග උත්තරකරුට පහත සඳහන් තහනම් පැනවෙනු ඇත. හිංසනයට ලක්වූ තැනැත්තා පදිංචි නිවසට සේවා ස්ථානයට සහ/හෝ පාසැලට ඇතුළත් වීම, හවුලේ වාසය කළ නිවසට ඇතුල් වීම, හිංසනයට ලක්වූ තැනැත්තා සමඟ සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට වෑයම් කිරීම හෝ ඒ තැනැත්තා යන එන තැන් වලට පස්සෙන් යාම, හිංසනයට ලක්වූ තැනැත්තාට උදවු පදව් කරන නෑයින් මිතුරන් සමාජ සේවක හෝ වෛද්‍ය නිලධාරී යන මෙවැනි අයට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම, වෛවා හික නිවස විකිණීම.
එසේම අතුරු තහනම් නියෝගයක් පනවා ඇති අවස්ථාවකදී පීඩාවට පත් වූ තැනැත්තාට වහාම ආරක්ෂාව සැලසීම පිණිස උසාවිය විසින් සමාජ සේවකයකු පවුල් උපදේශකයකු පරිවාස නිලධාරියකු පවුල් සෞඛය සේවකයකු හෝ ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධන නිලධාරියකු පත් කළ හැකිය.


ආරක්ෂක නියෝගයක් යනු කුමක් ද?

ඉල්ලුම් පත්‍රය පිලිබඳ විභාගයකින් හෙවත් විමසා බැලීමකින් පසුව අධිකරණය සෑහීමකට පත් වුවහොත් අධිකරණය විසින් ආරක්ෂක ආඥාවක්/නියෝගයක් නිකුත් කරනු ඇත.
ආරක්ෂක නියෝගයට අනුව වග උත්තරකරු තමන් විසින් හෝ වෙනත් අයෙකු මඟින් හෝ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට අදාළ කිසිම හිංසනයක් සිද්ධ කිරීම තහනම් කෙරේ.
ආරක්ෂක නියෝගය මාස දොළහක් වලංගුව පවතී. එහෙත් වග උත්තරකරුගේ හෝ හිංසනයට පත් වූ අයගේ ඉල්ලීමක් මත අධිකරණයද සෑහීමකට පත්වේ නම් එය වෙනස් කළ හැකිය. කෙසේ වුවද වෙනස් කිරීමට ඉල්ලුම් කිරීම බලපෑමකින් තොරව සිදුවී ඇති බව හා ගැටුම පිලිබඳ තත්වය වෙනස් වී ඇති බව පැහැදිලි විය යුතු වේ.

 

වග උත්තරකරු විසින් අතුරු/ආරක්ෂක නියෝගය කඩ කරනු ලැබුවහොත් කළ හැක්කේ කුමක් ද?

වහාම පොලිසියට වාර්තා කරන්න.
ඔබේ පැමිණිල්ල සනාථ කිරීමට සාක්ෂි තිබේ නම් එය ප්‍රයෝජනවත් වේ.


අතුරු /ආරක්ෂක නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් නියමිත දඬුවම් මොනවා ද?

අතුරු/ආරක්ෂක නියෝගය අධිකරණ නියෝගයකි. එහෙයින් එම නියෝගය කඩ කිරීම සාපරාධී වරදකි.
වරදකරුට රුපියල් දස දහසකට (10,000) නොවැඩි දඩයක් ගෙවීමට සහ / හෝ වසරකට නොවැඩි සිර දඬුවමක් උසාවිය විසින් නියෝග කළ හැක.

 

ආරක්ෂක නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව?

උසාවිය විසින් පහත සඳහන් දේවල් ගැන අවධානය යොමු කරනු ඇත: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පත් වූ අයට සහ/හෝ ළමුන්ට ආරක්ෂිතව නැවතී සිටීමට ස්ථානයක් අවශ්‍ය බව.
මෙම නියෝගය හේතුවෙන් මුහුණ පෑමට සිදුවන දුශ්කරතා ගැන සලකා බලා ඔවුන්ට ආරක්ෂක නිවහනක් හෝ තාවකාලික නිවහනක් නැවතී සිටීමට සලසනු ලබන අතර ඒ පිළිබඳ විස්තර වග උත්තරකරුට නොදන්වා රහසිගතව තබාගනු ඇත.
එනමුදු වග උත්තරකරු විසින් ඔවුන්ගේ වියහියදම් සැපයීය යුතුවේ නම් ඒ බව පමණක් ඔහුට දන්වනු ඇත.

 

ගෘහස්ත්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත අනුව ගොනුකළ හැකි නඩු සම්බන්ධ උදාහරණ


උපුටා ගැනීම 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩු, විග්‍රහය ධාරා විජේතිලක විසිනි, 'කාන්තා පිහිට' (2009)

“ඉල්ලුම්කරුගේ බිරිඳ අවුරුදු 17 කටත් වැඩි කාලයක් අපයෝජනයට ලක්වූ තැනැත්තියකි වග උත්තරකරු වෙත ආරක්ෂක නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු පිළිබඳ කිසිදු ආරංචියක්වත් ඉන් පසු නොවීය. බිරිඳ සහ ඔවුන්ගේ දියණිය ඉන්පසු සන්සුන්දායකව ජීවත්වන බව සැලවේ. පවුල් සංසදයට හානියක්වූවද පුද්ගලයන්ට කරදරයක් නොමැතිව ජීවත්වීමට පරිසරයක් ඇතිවිය (49 පිටුව) ”

“සිය බිරිඳ හා දියණිය වෛවාහික නිවසින් පන්නාදැමූ වග උත්තරකරු ඔවුන් බිරිඳගේ නිවසෙහි පදිංචිව සිටියදීත් ඔවුන් පසුපස ගොස් හිරිහැර කිරීමට යෙදුනි. ආරක්ෂක නියෝගයක් නිකුත්කිරීමෙන් පසුව වග උත්තරකරුට බිරිඳගේ නිවසට හෝ වැඩපලට යාම හෝ ඇගේ ජංගම දුරකථනයට කතාකිරීම හෝ එහි ලිඛිත පණිවිඩ බහාලීම තහනම් කෙරින. තවද ඔහුගේ හැසිරීමෙන් බියවැදී සිටි ඔවුන්ගේ දියණිය මුණ ගැසීමෙන් වළකින ලෙසද ඔහුට නියෝග කෙරින. තමන්ගේ නොපිළිගතහැකි ක්‍රියා කලාපය නවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කළේය. මේ වනවිට ඔහුගේ බිරිඳ හා දියණිය හිරිහැරවලින් තොරව සාමකාමී පරිසරයක දිවිගෙවන බව වාර්තවේ. (50 වන පිටුව )”.


දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් පිලියම්

වැඩිහිටියෙකුට මානසික උද්වේගශීලී හිංසනයන් පැමිණවීම හැර සෙසු ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ල දණ්ඩ නීතී සංග්‍රහයේ දඩුවම් පැමිණ වියහැකි වරදවල් නිසා සෙසු අපරාධ වලදී මෙන් මේ සම්බන්ධ යෙන් න්ද පොලිසිය විසින් කටයුතු කළ යුතුවේ. දැඩි ශාරීරික හා ලිංගික අපයෝජන අවස්ථාවන්හීදී බිරිඳ ඒ ගැන රෝහලකට හෝ පොලිසියට වාර්තා කළ යුතුය. ඇයට සිදුවී ඇති තුවාල අපරාධ සහගත ස්වභාවයක ඒවානම් අපරාධ නීතිය යටතේ වග උත්තරකරුට නඩු පැවරිය යුතුවේ.

වැඩිහිටියෙකුට මානසික උද්වේගශීලී හිංසනයන් පැමිණවීම හැර සෙසු ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ල දණ්ඩ නීතී සංග්‍රහයේ දඩුවම් පැමිණ වියහැකි වරදවල් නිසා සෙසු අපරාධ වලදී මෙන් මේ සම්බන්ධ යෙන්ද පොලිසිය විසින් කටයුතු කළ යුතුවේ. දැඩි ශාරීරික හා ලිංගික අපයෝජන අවස්ථාවන්හීදී බිරිඳ ඒ ගැන රෝහලකට හෝ පොලිසියට වාර්තා කළ යුතුය. ඇයට සිදුවී ඇති තුවාල අපරාධ සහගත ස්වභාවයක ඒවානම් අපරාධ නීතිය යටතේ වග උත්තරකරුට නඩු පැවරිය යුතුවේ.