කැමැත්තෙන් තොරව, බලහත්කාරකමෙන් ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයයි. එය කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුකෙරෙන බරපතළ සහ අනුකම්පා විරහිත ක්‍රියාවකි. මෙයින් බරපතළ ශාරීරික, මානසික, චිත්තවේගාත්මක සහ ආර්ථිකමය අනිසි ප්‍රතිඵල ඇති විය හැක. මෙම අත්දැකීම අතිශයින් ප්‍රබල වන්නේ ඇයගේ සිරුරට, අවංකත්වයට, පෞද්ගලික ආරක්ෂාවට සහ ඇයගේ ආත්ම අභිමානයට සහ ගරුත්වයට එයින් සිදුවන හානිය නිසා පමණක් නොව එම අත්දැකීම වටා ඇති සමාජීය අපකීර්තියද නිසාය.


ස්ත්‍රී දූෂණය තුළ අඩංගු වන්නේ මොනවාද?

කැමැත්තෙන් තොරව සිදුවන විට ස්ත්‍රී දූෂණය නීති විරෝධී ක්‍රියාවකි.

කාන්තාවකගේ කැමැත්තෙන් තොරව ඇය හා ලිංගික සංසර්ගයෙහි යෙදෙන පුරුෂයෙක් ස්තී‍්‍ර දූෂණය වරදට වැරදිකරු වේ. ස්ති‍්‍රයකගේ කැමැත්තෙන් තොර සංසර්ගය සිදු වූ බව ඔප්පු කිරීමට පොර බැදූ බවට සාක්ෂි අත්‍යවශ්‍ය නැත.
ලිංගික සංසර්ගය සිදු වූ බවට අවශ්‍ය සාධකය වනුයේ යෝනි මාර්ගයට ඇතුල්වීම පමණි. විසර්ජනය අදාළ නොවේ.
ශ්‍රී ලංකාවේ ස්වාමිපුරුෂයෙක් / කාලත‍්‍රයෙක් ස්තී‍්‍ර දූෂනයට වරදකරු වනුයේ ඔහුගේ බිරිඳ නිත්‍යානුකූලව ඔහුගෙන් වෙන් වී සිටියොත් පමණි.

කෙසේ වුව ද ගෘස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ කාලාත්‍රය මෙම වරදට වගකිව යුතු විය හැකි අතර බිරිඳට එම පනත යටතේ ලබාගත හැකි පිළියම් ඉල්ලා සිටිය හැක.

පහත සඳහන් අවස්ථාවන් ද ස්ත්‍රී දූෂණය යටතට අයත් වේ

බලය, තර්ජනය, බියගැන්වීම, මරණය හෝ තුවාල සිදුකරනවා යයි බියවැද්දීම මගින් හෝ නීතිවිරෝධීව රඳවාගෙන සිටින අවස්ථාවක කැමැත්ත ලබා ගැනීම.
කාන්තාවකට අදාළ පුද්ගලයා හෝ වෙනත් තැනැත්තකු මගින් මත්පැන් හෝ මත් ද්‍රව්‍ය ලබා දී ඇය මත් වූ තත්ත්වයක සිටින අවස්ථාවක ඇය ලිංගික සංසර්ගයට කැමැත්ත දුන්න ද එම ක්‍රියාව ස්ත්‍රී දූෂණය යටතට ගැනේ.
ආබාධිත මානසික තත්ත්වයකින් පෙළෙන කාන්තාවක් හා සංසර්ගයෙහි යෙදීම ස්තී‍්‍ර දූෂනයට අදාළ වරදකි.

කිසියම් කන්තාවකගේ කාලත‍්‍රයා තමා යැයි ව්‍යාජ ලෙස හඟවා ඇයව රවටා ඇය හා සංසර්ගයෙහි යෙදුණේ නම් ද ස්තී‍්‍ර දූෂණ චෝදනාවට හසු වේ.

අවුරුදු 16 කට අඩු ගැටවර වසේ ගැහැනු ළමයෙකු සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ වුව සංසර්ගයෙහි යෙදීම ස්තී‍්‍ර දූෂණයට අදාළ වරදකි. ඒ ඇයට කැමැත්ත ලබා දීමට හැකියාවක් නැතැයි සැළකෙන බැවිනි. මෙය ව්‍යවස්ථික ස්තී‍්‍ර දූෂණය (Statutory Rape) ලෙස හැඳින්වේ.

ව්‍යවස්ථික ස්ත්‍රී දූෂණය


දණ්ඩ නීති සංග්‍රහයේ 363 () කාණ්ඩයේ 1995, නො. 22 සංශෝධිත පනතට අනුව ගැහැණු ළමයා අවුරුදු 16ට අඩුනම් කැමැත්ත ඇතුව සිදු කෙරෙන ලිංගික සංසර්ගය ද ස්ත්‍රී දූෂණය යටතට අයත් වේ. ස්ත්‍රී දූෂණය සිදු වූ බව ඔප්පු කිරීමට සංසර්ගය සිදු වූ බවට සාක්ෂි පමණක් ප්‍රමාණවත් වේ.

මුස්ලිම්වරුන් සම්බන්ධයෙන්, අවුරුදු 16ට අඩු නමුත් නීතියෙන් විවාහ වී තම ස්වාමි පුරුෂයා සමඟ ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවකදී ව්‍යවස්ථික දූෂණය සම්බන්ධ මෙම නීතිය අදාළ නොවේ. ශ්‍රී ලංකාවේ, මුස්ලිම්වරුන්ට හැර, විවාහ වීමේ නීත්‍යාණුකූල වයස 18 නිසා, මෙම විශේෂත්වය අදාළ වන්නේ මුස්ලිම්වරුන්ට පමණි.

භාරකාර ස්තී‍්‍ර දූෂණය

භාරකාර ස්තී‍්‍ර දූෂණය දණ්ඩ නීති සංග්‍රහයේ කාණ්ඬ 364(2)(අ) අනූව පහත දැක්වෙන අවස්ථාවන්හීදී මෙවන් තත්වයක් උද්ගතවිය හැකිය, එනම්:

රජයේ නිලධාරියෙක් හෝ බලධාරී කිසියම් පුද්ගලයකු සිය නිලබලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ස්තී‍්‍ර දූෂණයක් සිදුකලහොත් හෝ

රක්ෂිත රැඳවුම් නිවාසයක හෝ කාන්තා හෝ ළමා රෝහලක හෝ ආයතනයක යමෙකු තම නිලබලය ප්‍රයෝජනයට ගනිමින් ස්තී‍්‍ර දූෂණයක් කළ හොත් එය මෙම ගනයේ සාපරාධී ක්‍රියාවකි.

දණ්ඩ නීති සංග්‍රහයෙහි භාරකාර ස්තී‍්‍ර දූෂණය යන්න සඳහන් නොවේ. එනමුත් "අවුරුදු 20කට නොවැඩි අවම වශයෙන් අවුරුදු 10ක අවමය සිරදඬුවමක්ද ඇතුළුව දඩයක් හා හිංසනයට භාජනයවූ අයට වන්දි මුදලක්ද ගෙවිය යුතු බව එහි සඳහන් වේ. මෙම සාපරාධී ක්‍රියාවෙහි බරපතල කම මෙම දඬුවමින් පිළිබිඹුවේ.


එකඟවීම/කැමැත්ත පිළිබඳව ඔබ දැනගත යුතු දේ

එකඟවීම හෝ කැමැත්ත ස්වේච්ඡාවෙන් සිදු කරන දෙයකි. බලෙන් හෝ රැවටීමෙන් කැමැත්ත ලබාගැනීමට නොහැකිය.

එකඟවීම හෝ කැමැත්ත ලබාගැනීම කි‍්‍රයාවලියකි. ලිංගික සංසේචනය කරා එළඹීමට පෙර පියවරෙන් පියවර එකඟවීමක් ඇතිවිය යුතුය. තරමක් දුරට ලිංගික වූ කාර්යයන් කෙරෙහි එකඟතාවක් ඇති වුව ද කිසියම් සීමාවකින් ඔබ්බට එම සමීපත්වය ගෙනයාම ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතියක් ඔබට ඇත.

කැමැත්ත හෝ එකඟත්වය ආධ්‍යාරයෙන් හෝ අපකල්පිතව පිළිගත හැකි නොවේ. කිසියම් මිත‍්‍රත්වයක් හෝ යහළුකමක් හෝ බැඳීමක් තිබූ පමණින්ම ඔබ ලිංගික සංසර්ගයට කැමැත්ත දී ඇති බවක් හෝ එකඟ වී ඇති බවක් අදහස් නොකෙරේ.

කැමැත්ත දීම හෝ එකඟවීම මනා සිහි බුද්ධියෙන් සිදුවිය යුතු දෙයකි. මත්වී සිටින කෙනෙකුට නිත්‍යානුකූලව කැමැත්ත ප‍්‍රකාශ කළ නොහැකිය. ඔබේ සහකාරිය සමග සිහිබුද්ධියෙන් කතාබහ කිරීමට නොහැකි ලෙසින් ඔබ බීමත්ව සිටී නම් කැමැත්තක් දීමට හෝ එකඟවීමට ඔබට නොහැකිය

කැමැත්ත හෝ එකඟවීම වාචිකව ප‍්‍රකාශ විය යුතුය. ‘එපා/බැහැ’ යන්නක් ප‍්‍රකාශ නොවූ පමණින්, නොකී පමණින්, පිළිතුර ‘ඔව්’ හෝ එකඟවීමක් ප‍්‍රකාශ වූ බවක් නොසිතිය යුතුය.

කැමැත්ත හෝ එකඟවීම දෙපක්ෂය විසින්ම පිළිගත යුතුය. ද්විපාර්ශ්වීය ලිංගික සංසර්ගය පිළිබඳව දෙපාර්ශ්වයට එකඟත්වයකට පැමිණ සිටිය යුතුය. එක් පාර්ශ්වයක් ඊට අකමැති නම් එතැන එකඟත්වයක් නැත.


එකඟත්වය හෝ කැමැත්ත වැදගත් වන්නේ ඇයි ?

එකිනෙකා සමග කතාබහ, ඔවුනොවුනට ගෞරවය හා අවංකකම, වඩාත් හොඳ පුද්ගල හා ලිංගික සම්බන්ධතාවන්ට ඉවහල්වේ.

ශාරීරික සම්බන්ධතා ගැන විමසීමෙන් හා කැමැත්ත ලබාගැනීම ඔබේත් ඔබේ සහකාරියකගේ ගෞරවය සුරැකේ.

ස්තී‍්‍ර පුරුෂ සමාජ සම්බන්ධතා හා ලිංගිකත්වය විමසීමට භාජනය කෙරේ.

සහකරුවෙකු/සහකාරියක අනෙකා කෙරෙහි ‘අයිතියක්’ නොමැති බව පිළිගත යුතු අතර ඔවුන්ගේ සිරුරු තමන්ට අයිති භාණ්ඩ ලෙස පරිහරණය කිරීමට නොහැකි බවක් මින් අදහස් කෙරේ. ඔබේ සිරුර හෝ ඔබේ ලිංගිකත්වය අන් අයෙකුට අයිති නොවේ.

කාන්තාවන්ගේ කැමැත්ත හා එකඟතාව විමසීමේ දී කාන්තාවන් එම කි‍්‍රයාවලියට සම්බන්ධ කර ගැනීම යහපත්ය. එසේම ස්වාභාවිකය.

උදාහරන

පුද්ගලයින් හඳුනාගැනීම වැලැක්වීම සඳහා නම් වෙනස් කර ඇත.

සුරංගිගේ පවුලේ අය දන්නා හඳුනන ඩික්සන් නම් එක්තරා මිනිහෙක් දිනක් එම නිවසට පැමිණ , බොන්නට වතුර ටිකක් ඇගෙන් ඉල්ලුවේය. ඇය කුස්සියට ගොස් බිම තිබුණ කළයෙන් වතුර ගැනීමට නැවෙනවාත් සමගම ඇය මග  පිටුපසින් පැමිණ සිටි ඩික්සන් ඇගේ අත් දෙකින් අල්ලා ඇය කාමරයකට තල්ලු කර මිනිත්තු 20ක් පමණ ඇය සමග බලෙන් ලිංගික සංසර්ගයෙහි යෙදී ඇත. සිද්දියෙන් අන්දමන්ද වූ ඇයට ප්‍රකෘති තත්වයට පැමිණ නැගිට සිටීමට ඇයට තව විනාඩි 30ක් පමණ ගතවිය. ඇගේ වයස අවුරුදු 14ක් වීය. ඇගේ බාල මල්ලී නිවසට පැමිණි විට ඇය ඔහු ලවා අසල වත්තක තේ දළු නෙලීමට ගොස් සිටි මව ගෙදර කැඳවා ගෙන ඒමට පිටත් කළාය. මව, කූලීවැඩට ගොස් සිටි ඔවුන්ගේ පියාද සමග ගෙදර ආහ.

සුරංගිගේ දෙමවුපියන් ගෙදරට පැමිණෙන විට ඇය සිදුවූ සිද්ධියෙහි ලජ්ජාව සෝදා ඇරීමට මෙන් ඈ තම සිරුර හොඳට සෝදාශුද්ධ පවිත්‍රකරගෙන සිටියාය. දෙමවුපියන්ට සිද්ධිය ගැන දැන්වූවායින් පසුව ඔවුහු ත්‍රිරෝද රථයකින් ඉංගිරිය පොලීසිය වෙත ගියහ. 

අතරමගදී සුරංගී සිය මවුපිය දෙදෙනාට ඩික්සන්ව පෙන්වූවා, ඇගේ පියා ඩික්සන්ගෙන් සිද්ධිය ගැන අභියෝග කිරීමට ත්‍රිරෝද රියෙන් බැස්සේය. පොලීසිය ඇගේ කටඋත්තරය ලියාගෙන ඇයව රෝහලට යැවූහ. දවස් දෙකහමාරක් රෝහලේ සිට ඇය ආපසු ගෙදර ගියාය. ඉන්පසු ඇය පාසැල් යාම ප්‍රතික්ෂේප කළාය.

පොලීසිය සැකකරුගේ නිවසට දෙතුන් වරක් ගොස් ඔහුව පොලීසියට එවන ලෙසට ඔහුගේ සොහොයුරියට දන්වා සිටියහ. ඔහු පොලීසියට ගියේම නැත. මේ වනතුරුත් ඔහු පොලීසියෙන් අල්ලා නැත. එසේම මෙම සිද්ධිය ගැන පොලීසිය ගතයුතු ක්‍රියාමාර්ගය ගන්න බවක් නොපෙනේ.

සිද්ධිය 1 - කමල් අද්දරආරච්චිට එරෙහිව ශ්‍රී ලංකා රජය

(නීති වාර්ථා – 393 001 of 2000)

මෙම නඩුවේ වග උත්තරකරුට කාරණා දෙකක් සම්බන්ධයෙන් චෝදනා කර කොළඹ මහාධිකරණයේ නඩු පැවරින. පළමුවෙන් චෝදනා වූයේ නීතිවිරෝධී ලෙස සංසර්ගය උදෙසා බලකිරීම හෝ පොළඹවාගැනීමට ගැහැණුළමයෙක් පැහැරගෙන යාමය. මෙය දණ්ඬ නීති සංග්‍රහයේ section 357 යටතේ දඬුවම් පැමිණවිය හැකි වරදකි. දෙවෙනි චෝදනා වූයේ දණ්ඬ නීති සංග්‍රහයෙහි section 364 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන ස්ත්‍රි දූෂණයයි. එම දිනයේ ඔහු ඇයව දූෂණය කළබවට චෝදනා විය. පළවෙනි චෝදනාව යටතේ ඔහුට බරපතල වැඩ සහිත දෑවුරුදු සිර දඬුවමක්ද, දෙවෙනි චෝදනාව යටතේ බරපතල වැඩ සහිත 10 අවුරුදු සිරදඬුවමක්ද දඬුවම් දෙකම එකවරම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණයේ විනිසුරුතුමිය විසින් නියම කෙරින. මීට අමතරව රුපියල් දශ ලක්ෂයක දඩයක් ගෙවන ලෙසද මෙම දඩ මුදල නොගෙවුවහොත් අමතර අවුරුදු දෙකක හිර දඬුවමක්ද චූදිත වග උත්තර කරුට නියම කෙරින. එසේම එම දශලක්ෂයේ දඩ මුදලින් රුපියල් නව ලක්ෂයක් වන්දිවශයෙන් පැමිණිලි පාර්ෂයට ගෙවන ලෙසද තීන්දු කෙරින. ලිංගික සංසර්ගය සඳහා කැමැත්ත ප්‍රකාශ නොවූ බව ඔප්පු නොවූ හෙයින්, විත්තිකරු නිදහස් විය යුතු බව පසුව ඇපෑල් උසාවියේ තීන්දුව විය.

සිද්ධිය: 2 - රාජරත්නට එරෙහිව නීතිපති

අභියාචණාධිකරණ රැස්වීම් වාර්තා, 1996 ජනවාරි 23, පිටු 11-12
(මූලාශ්‍රය: ශ්‍යාමලා සහ මාරියෝ ගෝමස්, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්වය: අයිතිවාසිකම් සහ නින්දාවේ සිට පිළියම් සහ වෙනස්කම් දක්වා, සීඩා, කොළඹ 1999)

මෙම නඩුවට අනුව, අවුරුදු හතරක් වයස දැරියක් ඇය හඳුනන අයකු අතින් දූෂණය වී තිබුණි. සැකකරු හඳුනාගනු ලැබුවේ දැරියගේ සාක්ෂි මතම පමණි. දැරියගේ වයස අවුරුදු හතරක් පමණක් නිසා, ඇයගේ තහවුරු නොකළ සහ සනාථ නොකළ සාක්ෂි මත පමණක් සැකකරු වරදකරු කිරීම අනාරක්ෂිත බව විනිශ්චයකරු විසින් ජූරියට උපදෙස් දී තිබුණි. සිද්ධිය දහවලක සිදු වූ නිසා සහ දැරිය සැකකරු පෙර සිටම දන්නා නිසා, ඔහුව හඳුනා ගැනීමට එය ප්‍රමාණවත් බව අභියාචණාධිකරණය පෙන්වා දෙන ලදී. ඒ අනුව අභියාචණාධිකරණය දඬුවම තහවුරු කළේය.

 

ස්ත්‍රී දූෂණයට ලක්වූ තැනැත්තියක් විසින් නොකළ යුතුදේ

රෝහලකට ගොස් වෛද්‍යපරීක්ෂණයක් කරන තුරු තම සිරුර පිරිසිදු කිරීම නොකල යුතුය.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී තමා ඇඳ සිටි ඇඳුම් පොලිස් ස්ථානයට හෝ රෝහලට යාමට පෙර මාරු කිරීම නොකල යුතුය.
තනිවීම නොකල යුතුය.
පවුලේ අය හෝ යහළුවන් හෝ වෛද්‍ය, නීතීඥ ආදී වෘතිකයන්ගෙන් උදවු ප්‍රතික්ෂේප කිරීම නොකල යුතුය.

 

ස්ත්‍රී දූෂණයට ලක්වූ තැනැත්තියක් විසින් අවශ්‍යයෙන්ම කළ යුතුම දේ

විශ්වාසවන්ත යහළුවෙකු හෝ පවුලේ කෙනෙකුට සිද්ධිය ගැන දැනුම් දෙන්න. ඔබ සමග රෝහලට හා පොලීසියට යාමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
සිද්ධිය සිදුවී පැය 24ක් ඇතුලත වෛද්‍යවරයකුගෙන් හෝ JMC කෙනෙකුගෙන් වෛද්‍ය වාර්ථාවක් ලබාගන්න. මෙය උසාවියේදී සාක්ෂිවශයෙන් වැදගත්ය.
ළඟම පොලීසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් දමන්න.
පැමිණිල්ලෙහි ලියවී ඇති කරුණු ඔබ ඉදිරිපත් කළ කරුණුමදැයි ප්‍රවේශමෙන් පිරික්සා බලන්න.
පැමිණිල්ල සටහන් කර ඇත්තේ ඔබට නුහුරු බාසාවකින් නම් අත්සන් කිරීමට පෙර පැමිනිල්ලේ පරිවර්ථන පිටපතක් ඉල්ලාගන්න. ඔබ සමග පොලීසියට පැමිණෙන යහළුවාට හෝ පවුලේ කෙනෙකුට භාවිත භාෂාව හුරු නම් එය ප්‍රයෝජනවත්ය.
පැමිණිල්ලේ පිටපතක් ලබාගන්න. ඔබේ පැමිණිල්ල සටහන් කරගත් නිලධාරියාගේ/ නිලධාරිනියගේ නම අසා දැනගන්න.
ඔබේ පැමිණිල්ලට අදාළ නිර්දේශ අංකය අසා සටහන් කරගන්න.

මේ සම්බන්ධ උපදේශන හා වෘතීමය මනෝචිකිත්සක සේවා සහාය ලබාගන්න.

සිද්ධිය පිළිබඳ සියළුම විස්තර ආරක්ෂාසහිතව පොතක සටහන් කරගන්න.

ඔබට මුහුණපෑමට සිදුවූ ආපදාව ස්ත්‍රී දූෂණයක්මදැයි කිසියම් සැකයක් වේ නම් කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය ගැන විශේෂ දැනුමක් ඇති ආයතනයකින් වැඩිදුර විමසා බලන්න. අදාළ නීති කියවන්න.

 


නිතර අසන ප්‍රශ්න

ශාරීරික තුවාල ආදියක් නොමැති නම් මෙවැනි සිද්ධියක් ගැන මට පොලීසියට පැමිණිලි කිරීමට පුළුවන් ද ?

ඔව්, ලිංගික හිංසනයන්හි දීසමහරවිට බාහිර තුවාල සිදු නොවේ. එවැනි තුවාල නොතිබීම සිද්ධිය ගැන පැමිණිලි නොකිරීමට හේතුවක් නොවිය යුතුය.

ස්තී‍්‍ර දූෂණ සිද්ධියක දී බාහිර තුවාල නොවී ශරීර අභ්‍යන්තර තුවාල සිදුවිය හැකිය. මේවා පිටතින් නොපෙනෙන තුවාල විය හැකිය. එවැනි තුවාල ගැන සෝදිසි කළ හැකි විශේෂ උපකරණ සමහර රෝහල්වල තිබේ.

ස්තී‍්‍ර දූෂණයකට ලක්වූ තැනැත්තියක් විසින් ලිංගිකව බෝවිය හැකි ආසාදනයන් සහ ගැබ්ගැනීම් ගැන සෝදිසි කර අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම වැදගත්ය. තමාට තුවාල ආදී හිංසනයක් වී නැතැයි තමන්ට සිතුණත් මෙම පියවර අවශ්‍යය.


නඩුවක් දැමීම පිළිබඳව තීරණයක් ගැනීමට කල්වේලා අවශ්‍ය නම් මා විසින් කුමක් කළ යුත්තේ ද ?

අපරාධයක් සිදු වු සැණෙකින්ම ඒ පිළිබඳව නඩුවට බැසීම පිළිබඳව වහාම තීරණයක් ගැනීමට බොහෝ දෙනා සූදානම් නැත. එවැනි තීරණයක් ගැන සිතා බලා පවුලේ හා යහළුවන්ගේ උපදෙස් ලබාගැනීමට කිසියම් කාලයක් ගතවීම ස්වභාවිකයි. නඩුවට බැසීමට ඔබට අවශ්‍යව ඇතත්, ඒ පිළිබඳ ස්ථිර තීරණයක් නොමැති අවස්ථාවලදී, කෙසේ වුවත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බව අපේ නිගමනයයි. සිදු වූ දේ පිළිබඳ විස්තර ඔබේ මතකයෙන් මැකී යාමට පෙර මෙම පැමිණිල්ල වාර්තා කර තැබීම වඩාත් සුදුසුය. පැමිණිල්ලක් ගොනුවූවායින් පසුව නඩු මගට යනවා ද නැද්ද යන්න නීතිපතිතුමන්/තුමිය විසින් ගනු ලබන තීරණයකි. කෙසේ වුවත් හිංසනයට පත්වූ අයගේ සහයෝගයෙන් තොරව නඩුවක් ඉදිරියට ගෙනයාම සාමාන්‍යයෙන් සිදු නොවේ.


අපරාධකරු හිංසනය නිම කිරීමට පෙර බිය වී පලා ගිය අවස්ථාවක වුව ද ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි ද ?

ඔව්. ලිංගික ප්‍රචණ්ඩත්වයක් සිදු කිරීමට තැත් කිරීම ද සාපරාධී ක්‍රියාවක් වන අතර ඒ පිළිබඳව පැමිණිළි කළ යුතුය. ඇත්ත වශයෙන්ම සිදුකළ හෝ සිදු කිරීමට තැත්කළ කායික, ලිංගික, චිත්තවේගාත්මක/මානසික ප්‍රචණ්ඩත්වය යන දෙකම ප්‍රචණ්ඩත්වය ලෙස සැළකේ.


මම අපරාධකරු දනිමි. මම ඔහු/ඇයට ඇතුලට ඒ මට ආරාධනා කළෙමි. මට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි ද ?

ඔව්, බොහෝ විට පීඩාවට පත් ප‍්‍රවර්තකයෝ ඔවුන්ට හිංසනය කළ අයව කවුරුන්දැයි දනිති. හිංසනයට පෙරාතුව ඔබ කැමැත්තෙන් ඔහු සමග සිටීම හෝ ඔහු/ඇය ඔබ නිවසට ආරාධනා කළ බව හෝ , මේ කිසිවක් වෙනස් නොකරයි.

 

 

ස්තී‍්‍ර දූෂණය පිළිබඳව පැමිණිලි කිරීම

ඔබට සහය විය හැකි සමීප මිතුරකුට හෝ පවුලේ සාමාජිකයකුට මේ ගැන හැකි ඉක්මණින් පැවසීම ඉතා වැදගත්ය. දූෂණයට ලක්වූ කාන්තාවන් සෑම විටම එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කළ යුතු අතර සෞඛ්‍ය සහ මනෝසාමාජීය සහය ලබාගත යුතුය.

හැකි ඉක්මනින් වෛද්‍ය සහතිකයක් ලබාගන්න. මේ අවස්ථාවේ දී ඔබ පරීක්ෂා කරන හෙදිය හෝ වෛද්‍යවරයා විසින් හිසකෙස්, ශ‍්‍රාව, කෙඳි හෝ සාක්ෂි වශයෙන් යොදාගත හැකි දේ එකතු කරගනු ඇත.

පොලීසියෙහි පැමිණිල්ලක් දැමීමට පෙර, එම පොලිස් ස්ථානයෙහි කාන්තා හා ළමා ඒකකයක් ඇත්දැයි විමසා බලන්න. එසේත් නැතිනම් පිරිමි පොලිස් කොස්තාපල්වරයකුට වඩා කාන්තා පොලිස් නිලධාරිනියක් සමග කතා කිරීමට ඔබ වඩාත් කැමති නම් එසේ ඉල්ලන්න.

පොලීසියේ දී ඔබේ ප්‍රකාශය ලබාගැනීමට අමතරව, ඔබේ සිරුරේ කිසියම් සාක්ෂි ඇතොත් ඒවාද ලබාගනු ඇත. සිද්ධිය පිළිබඳ සාක්ෂිකරුවන් සිටින්නේ නම් ඔවුන් සමග ද පොලිස් නිලධාරීහු කතාබහ කරනු ඇත.

ඔබේ පැමිණිල්ලේ ස්වභාවය අනුව පොලීසියේ දී මෙම කතාබහ සඳහා පැය කිහිපයක් ගතවිය හැකිය. සමහර ප‍්‍රශ්න ඔබෙන් කරුණු හාරා අවුස්සා අසන ස්වභාවයක් ගනු ඇත. සමහර විට යම් යම් කරුණු ගැන කිහිප වාරයක් නැවත නැවත අසන බවක් ඔබට දැනෙනු ඇත. සිද්ධිය පිළිබඳ සෑම විස්තරාත්මක කරුණක්ම නිවැරදිව අවශ්‍ය හෙයින් මෙම විමසීම සාධාරණය. අපරාධකරුට විරුද්ධව ප‍්‍රබල සාක්ෂි සහිත චෝදනාවක් කිරීම සඳහා පොලීසියට මේ සෑම විස්තරයක්ම පැහැදිලිව නිවැරදිව අවශ්‍ය වන්නේය.

සිද්ධිය සිදු වී කල්වේලා නොයවා ඒ පිළිබඳ වැදගත් විස්තර ලියා සටහන් කරගැනීම වටනේය. එවිට ඔබට එම විස්තර පොලීසියට ඉදිිපත් කළ හැකිය.

මෙවැනි සිද්ධීන් පැමිණිලි කිරීමේදී උදව් කරන යම් යම් සංවිධාන ඇත. ඔබට කිසියම් පැටලිලි හෝ සැක සහිත කරුණක් වේ නම් ඔවුන්ට එම කරුණු පැහැදිලි කරදිය හැකිය.

පොලීසියට පැමිණිලි කිරීමට නියමිත කාලසීමාව

ලිංගික ප‍්‍රචණ්ඩත්ව සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධය පිළිබඳව හැකි ඉක්මනින් පැමිණිලි කර, සාක්ෂි එක්රැස් කරගැනීමෙන් නඩුව වඩාත් ප‍්‍රබල වේ.

සෑම විටම හැකි පමණ ඉක්මනින් අපරාධය පිළිබඳව පැමිණිලි කරන්න. ඔබට සිදු වූ දේ නිසැකයෙන්ම අපරාධයක් ද නැද්ද යන සැකයක් තිබේ නම් පළමුවෙන් ඒ ගැන පැමිණිලි කර සිටින්න. ඉන් පසුව පොලීසිය හෝ වෙනත් උදව් උපකාර කරන සංවිධානයක් සමග කතා බහ කර ඔබේ සිතේ තිබෙන ගැටලූ නිරාකරණය කර ගැනීමට පුළුවන.

පොලීසියට පැමිණිලි කිරීමට ඇති කාල සීමාව

ලිංගික ප්‍රචණ්ඩත්වයක් සිදු වී ඇති අවස්ථාවකදී, හැකි ඉක්මණින් ඒ පිළිබඳව පමිණිළි කිරීමෙන් සහ සාක්ෂි එකතුකර ගැනීමෙන්, නඩු විභාගය වඩාත් ශක්තිමත් වේ.

සෑම විටම හැකි ඉක්මණින් අපරාධය පිළිබඳව පැමිණිළි කරන්න. ඔබට සිදු වූ දෙය අපරාධයක් ද යන්න ඔබට හරි හැටි පැහැදිලි නැතත්, පළමුව පැමිනිල්ල සිදුකර පසුව පොලීසියෙන් හෝ ආධාර ලබාදෙන ආයතනයකින් ඒ පිළිබඳව පැහැදිලි කරගන්න.

ඇපරාධයක් සම්බන්ධයෙන් පැමිණිළි කිරීමට නීත්‍යාණුකූල උපරිම කාල සීමාව වසර විස්සකි.

පැමිණිළි කිරීමේ ක්‍රියාවලියට සහායදක් වන ආයතන ඇත. ඔබගේ අනුමාන සහ ගැටළු වලට පිළිතුරු සැපයීමට එම ආයතන වලට හැකියාව ඇත.

 


ස්තී‍්‍ර දූෂණය පිළිබඳ නීතිය

ස්ත්‍රී දූෂණය පිළිබඳ නීතිය දණ්ඩ නීති සංග්‍රහයේ 363 වෙනි වගන්තියේ 1995 අංක 22 දරණ සංශෝධිත පනතෙහි අඩංගු වේ

කාන්තාවකගේ කැමැත්තෙන් තොරව ඇය හා ලිංගික සංසර්ගයෙහි යෙදෙන පුරුෂයෙක් ස්තී‍්‍ර දූෂණය වරදට වැරදිකරු වේ.

ලිංගික සංසර්ගය සිදු වූ බවට අවශ්‍ය සාධකය වනුයේ යෝනි මාර්ගයට ඇතුල්වීම පමණි. විසර්ජනය අදාළ නොවේ.

ස්ති‍්‍රයකගේ කැමැත්තෙන් තොර සංසර්ගය සිදු වූ බව ඔප්පු කිරීමට පොර බැදූ බවට සාක්ෂි අත්‍යවශ්‍ය නැත.

ස්වාමිපුරුෂයෙක්/කාලත‍්‍රයෙක් ස්තී‍්‍ර දූෂනයට වරදකරු වනුයේ ඔහුගේ බිරිඳ නිත්‍යානුකූලව ඔහුගෙන් වෙන් වී සිටියොත් පමණි. කෙසේ වුව ද ගෘස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ කාලත‍්‍රයෙකු මෙම වරදට වගකිව යුතු විය හැකිය.

ආබාධිත මානසික තත්වයකින් පෙළෙන කාන්තාවක් හා සංසර්ගයෙහි යෙදීම ස්තී‍්‍ර දූෂනයට අදාළ වරදකි.

අවුරුදු 16 කට අඩු ගැටවර වයසේ ගැහැණු ළමයෙකු සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ වුව සංසර්ගයෙහි යෙදීම ස්තී‍්‍ර දූෂණය වරදකි. මෙය ව්‍යවස්ථික ස්තී‍්‍ර දූෂණය ලෙස හැඳින්වේ.

අවුරුදු 16 ට අඩු එහෙත් අවුරුදු 12 ට වැඩි විවාහිත ගැහැණු ළමයෙකු සිය විවාහක ස්වාමිපුරුෂයා සමග නීතියෙන් නොවෙන් වී සිටියදී සංසර්ගයෙහි යෙදීම මෙම නීතියට අදාළ නොවේ. ශී‍්‍ර ලංකාවේ නීතියෙන් විවාහ විය හැකි වයස අවුරුදු 18 නිසා ඊට අඩු වයසින් විවාහ විය හැක්කේ මුස්ලිම්වරුන්ට නිසාත් මෙම නීතිය අදාළ වනුයේ මුස්ලිම්වරුන්ට පමණක් බව සැලකිල්ලට ගත යුතු වේ.

කාන්තාවන් හෝ අවුරුදු 16 ට වැඩ යුවතියකගේ කැමැත්ත ඇතිව සංසර්ගයෙහි යෙදුණ බවක් බැලූ බැල්මට පෙනුණත් පහත සඳහන් අවස්ථා අනුව එය ස්තී‍්‍ර දූෂණය යැයි ගැනේ:

බලය, තර්ජනය, බියගැන්වීම, මරණය හෝ තුවාල සිදුකරනවා යයි බියවැද්දීම මගින් කැමැත්ත ලබා ගැනීම.

නීතිවිරෝධීව රඳවාගෙන සිටින අවස්ථාවක කැමැත්ත ලබා ගැනීම.

කාන්තාවකට අදාළ පුද්ගලයා හෝ වෙනත් තැනැත්තකු මගින් මත්පැන් හෝ මත් ද්‍රව්ය ලබා දී ඇය මත් වූ තත්වයක සිටින අවස්ථාවක ඇය ලිංගික සංසර්ගයට කැමැත්ත දුන්න ද එම ක්‍රියාව ස්ත්‍රී දූෂණය යටතට ගැනේ.

කිසියම් කාන්තාවකගේ කාලත‍්‍රයා තමා යැයි ව්‍යාජ ලෙස හඟවා ඇයව රවටා ඇය හා සංසර්ගයෙහි යෙදුණේ නම් ද ස්තී‍්‍ර දූෂණ චෝදනාවට හසු වේ.


ස්තී‍්‍ර දූෂණයට අදාළ සාක්ෂි

සාමාන්‍යයෙන් ස්තී‍්‍ර දූෂණයක් සිදු කෙරෙනුයේ සිද්ධිය ඔප්පු කිරීමට වෙනත් අය අවට නොමැති අවස්ථාවක දීය. එහෙත් එම සිද්ධිය ඔප්පු කළ හැකි වෙනත් ක‍්‍රම ඇත. එනම්:

පුරුෂයා දරුණු ලෙස කි‍්‍රයාකරඇත්නම් ලිංගු පෙදෙසේ තුවාල/සීරීම් ආදිය හෝ වෙනත් හිංසන ලකුණු එමෙන්ම මෙම තුවාල බාහිර තුවාලම නොවිය හැකිය.

ඉරුණු ඇඳුම්, සිද්ධිය කාන්තාවගේ කැමැත්තෙන් තොරව සිදු වූ බව මෙයින් ඔප්පු වනු ඇත.

වෛද්‍ය පරීක්ෂණය අවස්ථාවේදී දූෂණයට ලක්වූ තැනැත්තිය විසින් සැකකරු පිළිබඳව වෛද්‍ය නිළධාරියාට දෙනු ලබන විස්තරය.

ජංගම දුරකථන වැනි දේ මඟින් පටිගත කළ දෙයක් (ශ්‍රවණ හෝ දෘශ්‍ය).

දූෂණයට පත් වූ තැනැත්තියගේ සිරුරෙන් ලබා ගත්, ශුක්‍ර ධාතු, කෙස්, රුධිරය වැනි දූෂකයාගේ ඩී එන් ඒ සාක්ෂි.

පෙර අවස්ථාවලදී දූෂකයා විසින් දූෂණයට ලක් වූ තැනැත්තියට කරන ලද තර්ජන, සහ ඒවා සනාථ කිරීමට තුන්වන පාර්ශව සාක්ෂි ඇත්නම් ඒවා.




කාන්තාවක් දූෂණයට ලක්වී ඇත්නම් හා අපරාධකරුට දූෂණය කිරීම පිළිබඳ චෝදනාවක් ඇත්නම් ඇය විසින් උසාවියේ දී ඔප්පු කළ යුතු කරුණු මෙසේ ය:

අපරාධය සිද්ධ කරන ලදැයි චෝදනා කරන මිනිසාගේ අනන්‍යතාව.

සමූහ දූෂණයක් නම් නඩුවට අදාළ සියලූ මිනිසුන්ගේ අනන්‍යතාව. ඒ සියලූ දෙනාගේම අනන්‍යතාව ඉදිරිපත් කිරීමට නොහැකි නම් වෙනත් සාක්ෂි මගින් ඔවුන් හඳුනාගැනීමට හැකි විය යුතුය.

කාන්තාව ඇත්ත වශයෙන්ම දූෂණය කරන ලද බව.

කාන්තාව එම කි‍්‍රයා කලාපයට එකඟ නොවූ බව.


එසේ වුව ද විනිශ්චයක් ලබාගැනීම සඳහා ඇති වන දුෂ්කරතා ද ඇත. එනම්,

නීතිමය සාක්ෂිවලදී ස්තී‍්‍ර පුරුෂ දෙපක්ෂයේ සාක්ෂි පිළිබඳව දක්වන ස්තී‍්‍ර පුරුෂ සමාජභාවීය විෂමතාව (කාන්තාවන්ගේ සාක්ෂි සැහැල්ලූවට ලක් කිරීම)

හරස් ප‍්‍රශ්න ඇසීම හැර ආක‍්‍රමණශීලී බවක් ගැනීම

සාක්ෂි ලබාගැනීමේ දී පක්ෂපාතී නීති රීති අනුගමනය කිරීම

කැමැත්තෙන් තොරව දූෂණය සිදු වූ බව ඔප්පු කිරීමේ දුෂ්කරතාව

 

උසාවි නීතියෙහි පිළිවෙත් හා කි‍්‍රයා පටිපාටිය සමහර විට කාන්තාවන්ට සාධාරණයක් ලබාගැනීමට එරෙහිව කි‍්‍රයාත්මක වන බවක් පෙනේ. ස්තී‍්‍ර දූෂණයක් සිදු වූ බව ඔප්පු කිරීම සඳහා කාන්තාවක් හෝ ගැහැණු ළමයෙකු එම සිද්ධිය තමාගේ කැමැත්තක් නොමැතිව සිදු වූ බව ඔප්පු කිරීම අත්‍යවශ්‍යයය. එහෙයින් මෙම අවස්ථාවේ දී ඇයට ඉතා ආක‍්‍රමණහීලී හරස් ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදු වේ. නීතිප‍්‍රකාර දූෂණයක් සම්බන්යෙන් හිංසනයට පත්වූ අයගේ කැමැත්ත එතරම් වැදගත් නොවේ. ඊට හේතුව පැමිණිලි පක්ෂයේ වගකීම ලිංගික සංසර්ගය අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයෙක් සමග සිදු වූ බවයි. මෙය ද අවුරුදු 16 ට අඩු අවුරුදු 12 ට වැඩි වෛවාහික මුස්ලිම් ගැහැණු ළමයි සම්බන්ධයෙන් අදාළ නොවේ.දූෂණයේ දී කාන්තාව චූදිත හිංසකයාගේ පාලනය හා බලය යටතේ රැඳ වී සිටින හෙයින් සිද්ධිය ඇගේ කැමැත්තෙන් තොරව සිදු වූ බව ඔප්පු කිරීම පැමිණිලි පක්ෂයට වඩාත් දුෂ්කර වේ. මේ සම්බන්ධයෙන් නීති විශේෂඥවරු සිය කණස්සල්ල පළ කර ඇති අතර ඒ සඳහා ඉන්දියානු නීතියෙහි පවත්නා ආකාරයට කාන්තාවගේ කැමැත්ත ලබාගත් බව ඔප්පු කිරීමේ වගකීම විත්ති පක්ෂය වෙත පවරන ලෙස යෝජනා කර ඇත. (Violence, Law & Women’s Rights in South Asia. Savitri Goonesekere (Ed). SAGE Publications: 2004). කාන්තාවගේ චරිතය හෝ ඇය සිය කැමැත්තෙන් මීට පෙර වෙනත් පිරිමින් සමග සංසර්ගයෙහි යෙදී ඇත ආදී කරුණු මෙවැනි චෝදනාවන්ට අදාළ නොවේ. සාක්ෂි ලබාගැනීම සඳහා දරන්නා වූ විවිධ පක්ෂපාතී අදහස් අනුව මේ පිළිබඳව සාක්ෂි මෙලෙස මෙහෙයවීමට ඉඩ ඇත.

දූෂණයේ දී කාන්තාව චූදිත හිංසකයාගේ පාලනය හා බලය යටතේ රැඳ වී සිටින හෙයින් සිද්ධිය ඇගේ කැමැත්තෙන් තොරව සිදු වූ බව ඔප්පු කිරීම පැමිණිලි පක්ෂයට වඩාත් දුෂ්කර වේ. මේ සම්බන්ධයෙන් නීති විශේෂඥවරු සිය කණස්සල්ල පළ කර ඇති අතර ඒ සඳහා ඉන්දියානු නීතියෙහි පවත්නා ආකාරයට කාන්තාවගේ කැමැත්ත ලබාගත් බව ඔප්පු කිරීමේ වගකීම විත්ති පක්ෂය වෙත පවරන ලෙස යෝජනා කර ඇත. Violence, Law & Women’s Rights in South Asia. Savitri Goonesekere (Ed). SAGE Publications: 2004).

 

ස්තී‍්‍ර දූෂණය සඳහා දඬුවම කුමක් ද ?

අවම වශයෙන් බරපතල වැඩ ඇතිව අවුරුදු හතකට නොඅඩු වූ ද අවුරුදු විස්සක් නොඉක්මවන්නා වූ ද සිර දඬුවමක් හා දඩයකි.

සිදු වී ඇති හිංසනයන් වෙනුවෙන් පීඩාවට පත් ප‍්‍රවර්තකයාට උසාවිය විසින් නියමිත කෙරෙන වන්දියක් ගෙවීමට ද තීන්දු කෙරෙන ඇත. හිංසන යනුවෙන් අදහස් කෙරෙනුයේ හුදෙක් ශාරීරික තුවාල වැනි හිංසා පීඩා පමණක්ම නොවේ.

පහත සඳහන් අවස්ථාවල දී ස්තී‍්‍ර දූෂණය සඳහා අවම දඬුවම අවුරුදු දහයකට (10) නොඅඩු සිර දඬුවමකි.

රජයේ නිලධාරියෙකු හෝ බල සහිත තනතුරක් දරන පුද්ගලයෙකු තමන්ගේ නිල බලය ප‍්‍රයෝජනයට ගනිමින්, නිල වශයෙන් තමන් භාරයේ සිටින කාන්තාවක් දූෂණය කරයි ද, එසේත් නැතහොත් වංචාකාරීව ඇගේ නිදහස සීමා කර (Wrongfully restrains) ඇයව දූෂණය කරයි ද, තවද

පරිවාස නිවාසයක හෝ නීතිය යටතේ රඳවා ගනු ලබන කිසියම් ආයතනයක හෝ කාන්තා හෝ ළමා සුරැකුම් ආයතනයක හෝ, පාලක හෝ සෙවක මණ්ඩලයේ අයෙකු තම නිල බලය ප‍්‍රයෝජනයට ගනිමින් ස්තී‍්‍ර දූෂණයක් සිදු කරයි ද, තවද

රෝහලක පාලක හෝ සේවක මණ්ඩලයේ අයෙකු තම නිල බලය උපයෝගී කරගනිමින් එම රෝහලෙහි කාන්තාවක් දූෂණය කරයි ද, තවද

කිසියම් කාන්තාවක් ගැබිණියක බව දන්නා යම් පුරුෂයෙක් ඇය දූෂණය කරයි ද, තවද

කිසියම් පුරුෂයෙක් අවුරුදු 18 ට අඩු කාන්තාවක් දූෂණය කරයි ද, තවද

කිසියම් පුරුෂයෙක් ශාරීරිකව හෝ මානසිකව ආබාධිත කාන්තාවක් දූෂණය කරයි ද, තවද

මූහ දූෂණයේ දී ද - එනම් එක් අයෙකු හෝ වැඩි පිරිසක් හෝ කණ්ඩායමක් විසින් දූෂණය කෙරේද (එක් අයෙකුට ශාරීරිකව දූෂණය කරද්දී සෙසු අය ඔහුට එම අපරාධය සිදු කිරීමට උදව් උපකාර කළේ වුව ද)

මෙම සියල්ලන්ටම අවම වශයෙන් බරපතල වැඩ සහිත අවුරුදු 10 ක සිර දඬුවමක් නියම විය හැකිය.

දූෂණයට භාජනය වූ කාන්තාව අවුරුදු 16 ට අඩු නම් හා ඇ අපරාධකරුට පහත සඳහන් කවර ලෙසකින් ඥාතිත්වයක් ඇත්නම් ඔහුට අවම වශයෙන් බරපතල වැඩ සහිත අවුරුදු පහළොවක සිර දඬුවමක් නියම වේ:

දියණිය / මිණිපිරිය

හදාගත් දියණිය / හදාගත් මිණිපිරිය

සහෝදරිය / අඩ සහෝදරිය / හදාගත් සහෝදරිය

ලේලි / අඩ ලේලි / හදාවඩාගත් ලේලි

අඩ දියණිය / අඩ මිණිපිරිය වශයනි.

උසාවිය විසින් නියමිත වන්දි මුදල් ගෙවීමට අපරාධකරු අපොහොසත් වේ නම් උපරිම වශයෙන් තව අවුරුදු දෙකකට සිර දඬුවම දීර්ඝ කරනු ඇත.

 

උවම දඬුවම් වලංගු නොවන බවත් උසාවිය විසින් ඒ ඒ සිද්ධියට උචිත ලෙස නඩු තීන්දු පැනවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධීකරණය විසින් තීරණය කර ඇත. අපරාධකරුවන් බන්ධනාගාර ගත කිරීම වළක්වනු පිණිස සමහර විට දූෂණ නඩු තීන්දුවල දී අත්හිටවූ සිර දඬුවම් නිකුත් කරන බවක් දක්නට ලැබේ. මෙම තත්වය අසතුටුදායකය. දූෂණ නඩු සම්බන්ධව තීන්දු දීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ගැන දැනට සාකච්ඡා කෙරෙමින් පවතී. නඩු විභාගවලට බොහෝ විට දීර්ඝ කාලයක් ගතවන අතර, ඇතැම් නඩුවල තීන්දුවක් දීමට වසර ගනනාවක් ගත වේ. විශේෂයෙන්ම හරස් ප්‍රශ්න ඇසීමේදී, සිද්ධිය පිළිබඳ විස්තර සහ කරුණු නැවත නැවත කතා කිරීමට දූෂණයට ලක් වූ තැනැත්තියට සිදුවිය හැකිය. මෙය ආගන්තුක, අසංවේදී සහ දැඩි පීඩාවක් ඇති කරන අවස්ථාවක් විය හැක. දූෂණයට ලක් වූ තැනැත්තියට මෙයින් ඇතිවිය හැකි චිත්තවේගාත්මක, මානසික, සහ ආර්ථිකමය අනිසි ප්‍රතිවිපාක නිසා, අනාගතයේදී ලිංගික අපරාධ සම්බන්ධයෙන් අධිකරණය සහ නීති පද්ධතිය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වඩාත් සංවේදී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ඇතැයි මෙම වෙබ් අඩවිය බලාපොරොත්තු වෙයි..