උදව් ගන්න - ආරක්ෂක සැළැස්ම

ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වූ විට තමන් විසින් තෝරාගත යුතු කි‍්‍රයාමාර්ගයන් මොනවාදැයි තෝරා බේරා ගැනීම පහසු නැත. එවැනි අවස්ථාවක දී කුමක් කළ යුතු දැයි අවදානම් තත්වයක් ඇති වීමට කලින් කල්පනා කර බැලීමට හැකි නම් වඩාත් පහසුය. පහත දී ඇති කි‍්‍රයාමාර්ගය ඇමෙරිකානු සංවිධානයක සැලසුමකි (http://www.kcsdv.org/plan.html). උපුටා ගෙන ශී‍්‍ර ලාංකේය සමාජයට ගැළපෙන ලෙස සකස් කර ඇත.

ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය විය හැකි අවස්ථාවක දී ආරක්ෂාව සලසා ගැනීම


පිටවීමට හැකි දොරක්/කවුළුවක් ඇති තැනකට යන්න. වැසිකිළි/නානකාමර, කුස්සිය, වැනි තැන් සුදුසු නොවේ. මේ ස්ථානවල දැඩි කවුන්ටර, ආයුධ ලෙස පාවිච්චි කළ හැකි මෙවලම්/උපකරණ තිබිය හැකි හෙයිනි. කැති, පිහි, මුගුරු, තුවක්කු ආදිය සාමාන්‍යයෙන් තබන ස්ථානයකට ද සමීප නොවන්න.
හැකි නම් දුරකථනයක් තිබෙන ස්ථානයකට සමීප වන්න. ජංගම දුරකථනයක් තිබේනම් එය ඔබ අතට ගන්න. 119 හෝ 011 - 2 44 44 44 හෝ යහළුවෙකුට හෝ අසල්වැසියෙකුට කතා කරන්න. නිවසේ ආයුධ තිබේ නම් ඒ බව දැනුම් දෙන්න. ඉහත සඳහන් දුරකථන අංකයන්ට ක්ෂණිකව කථා කළ හැකි ලෙස සූදානම්ව තබන්න.
ඔබට බේරී පැනයාමට හැකි මාර්ගයක් ගැන අවධානය යොමු කරන්න. බේරී යා හැකි විධිය කල්පනා කරන්න.
බේරී යන්නේ කොහාටදැයි සිතාගන්න. අවශ්‍ය වුවහොත් යා හැක්කේ කොහාට දැයි කල්පනා කරන්න.
ඔබට අවශ්‍ය රෙදිපිළි/ලියවිලි ආදී බෑගයක් සූදානම් කර තබන්න. හදිසියේ නිවසින් පිටවීමට අවශ්‍යවුවහොත් බෑගය රැගෙන යාමට පහසු තැනක සඟවා තබන්න.
හදිසි පණීවුඩයක් දීමට යොදාගත හැකි ඉඟියක්/සංඥාවක්/වචනයක් හෝ පණිවුඩයක් තෝරාගන්න. ඔබට අනතුරක ලකුණු දැනෙන විට ඒ බව දැන්වීමට තෝරාගත් රහස් ඉඟිය/සංඥාව/වචනය හෝ පණිවුඩය එවන බව ඔබට කිට්ටුවන්ත දරුවන්, මුණුබුරු මිණිබිරියන්, අසල්වාසීන් හෝ මිතුරු මිතුරියන්ට දන්වා තියන්න. කිසියම් විටෙක ඉඟිය/සංඥාව/වචනය හෝ පණිවුඩය ලැබුණහොත් ඔබ වෙනුවෙන් පොලීසිය අමතන්න ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
ඔබේ තීරණය කෙරෙහි විශ්වාසය තබන්න. ඔබේ ආරක්ෂාව සැළකෙන අතරම ඔබ ඊළඟට කල යුතු දේ කුමක්දැයි තීරණය කරගැනීමට ඔබට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා ගත හැකි කවර පියවරක් හෝ තෝරාගන්න. සමහරවිට බේරී පැන යාම සුදුසු විය හැකිය. සමහරවිට හිංසකයාගේ කෝපය අස්වැසෙන විදියක් සුදුසු විය හැකිය. දරුවන්ගේ ආරක්ෂාව සැළසෙන විදියක් ගැන හිතන්න.


නැවතීමට ඉතා ආරක්ෂා සහිත ස්ථානයක් තෝරාගන්න. ඔබටත් ළමයින් හෝ මුණුබුරු මිණිබිරියන් ඔබ සමග කැටුව යාමට සිද්ධ වේ නම් ඔවුන්ටත් ආරක්ෂා සහිත ස්ථානයක් විය යුතුය.
ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයෙන් අසහනයට පත්වූවන්ට සේවා සපයන ස්ථානයක් හා සම්බන්ධ වන්න. ඔබට අවශ්‍ය සේවා සැපයුම් හා නවාතැන් පිළිබඳ විස්තර අසා දැනගන්න. ඒ ස්ථානයන්හි ලිපිනයන් හා දුරකථන අංක ඔබ ළඟ සැම විට තබාගන්න. ඔබ ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ නම් මෙම අංක විශේෂ ඇමතුම් යටතේ ගොනු කර තබාගන්න.
ඔබට විශ්වාස කළ හැකි අයෙක් තෝරාගන්න. අවශ්‍ය වුවහොත් සැනෙකින් පිටවීමට පහසුවන සේ මුදල් ටිකක්, වැඩිපුර යතුරු කට්ටලයක්, වැදගත් ලියකියවිලි, ඇඳුම් ආදිය කල්තියා ඒ අය ළඟ සුරැුකිව තබන්න.
මුදල් ඉතිරි කිරීමේ ගිණුමක් ඔබේ නමින් පමණක් අරින්න. මෙය ඔබේ ස්වාධීනත්වයට රුකුලකි. ඔබ වේතනයක් / වැටුපක් / පඩියක් වැනි ආදායමක් ලබනවා නම් එම මුදල් කෙලින්ම ඔබේ මේ ගිණුමට යවන්න.
ඔබේ ආරක්ෂා සැලසුම නැවත නැවත පරීක්ෂා කර බලන්න. ඔබට හිංසා කරන තැනැත්තාගෙන් බේරී පැනයාමට හොඳම උපාය මාර්ගය කුමක් දැයි නිතර නිතර කිහිප වාරයක් සිතා බලන්න.


ඔබ පිට වී යා යුතු නම් ඔබේ වැදගත් ලියකියවිලි රැගෙන යන්න. එනම්:


ජාතික හැඳුනුම්පත
විවාහ සහතිකය
රියදුරු බලපත‍්‍රය
උප්පැන්න සහතිකය - ඔබේ සහ දරුවන්ගේ
මුදල් - චෙක්පොත්, Credit Card, ATM Card, වාහන ඉන්ෂුවරන්ස් හා ලියාපදිංචි කිරීම්.
ගමන් බලපත‍්‍ර (පාස්පෝට්)
දික්කසාද හා භාරකාර ලියවිලි
ඉන්ෂුවරන්ස් ලියවිලි හා වෛද්‍ය සටහන්
නිවාස ඔප්පුව හෝ බදු ඔප්පුව / කුලී පිළිබඳ ලේඛන
ළමයින්ගේ පාසල් හා සෞඛ්‍ය ලිපි / වාර්තා / උදා. ප‍්‍රතිශක්තිකරණ වාර්තා


ඔබට ඕනෑ විය හැකි අනෙක් දේවල්


යතුරු (නිවසේ, වාහනයේ, කාර්යාලයේ, හිතවත් අයෙකුගේ.....)
බෙහෙත්, ඇස් කණ්ණාඩි, ශ‍්‍රවණාධාර ආදිය (ඔබේ හා පවුලේ අයගේ)
පුද්ගලික දේවල් (ඇඩ‍්‍රස් පොත, පින්තූර / ඡායාරූප / සෙල්ලම් බඩු, ආභරණ)


ඔබේම නිවස තුළ ආරක්ෂාව (හිංසනය කරන තැනැත්තා ඔබ සමග එකට පදිංචි නැත්නම්)

ඔබ නිවසේ ආරක්ෂක විධි තර කරන්න. හැකි පමණ ක්ෂණිකව දොරගුලූ යතුරු ආදිය අවශ්‍ය නම් වෙනස්කර සවිමත් කරන්න. දොර ජනෙල්, පොලූ, ගරාදි, ආලෝකය සැපයෙන ක‍්‍රම, ගින්නක් ඇතිවුවහොත් නිවීමට යොදාගත හැකි ක‍්‍රම ආදිය ගැන සොයා බලන්න.
ආරක්ෂක සැලැස්මක් ගැන අවධානයෙන් සිටින්න. ඔබේ දරුවන්ට/මුණුබුරු මිණිබරියන්ට අවශ්‍ය වුවහොත් පොලීසියට හෝ තමන්ට විශ්වාසවන්ත කෙනෙකුට අමතා ඇති වී තිබෙන තත්ත්වය දැනුම් දිය යුතු පිළිවෙළ ගැන අවබෝධ කරන්න. අවදානම් තත්වයක දී ඔබට පණිවුඩයක හුවමාරු කරගත හැකි රහස් උපක‍්‍රමයක් ගැන දැනුවත් කරන්න.
ඔබේ පුද්ගලික දුරකථන අංකය භාවිතයේ දී ප‍්‍රවේශම්වන්න. දුරකථනයෙන් ඔබට තර්ජනාත්මක පණීවුඩ ලැබේ නම් හෝ නීතියෙන් පවරා ඇති විධාන කඩ කෙරේ නම් ඒවා ගැන විමසිලිමත් වන්න. එසේම ඒවා ගැන සටහනක් තබාගන්න.
අසල්වැසියන් හා/හෝ කුලී ගෙයක නිවාසි නම් ගෙවල් හිමියාට ඔබේ තත්වය ගැන අවබෝධ කරන්න. ඔබට හිංසා කරන තැනැත්තා ඔබ සමග ජීවත් නොවන්නේ නම් ඒ ගැන ඔවුන්ට කියන්න. ඔහු ඔබේ නිවස අවට ගැවසෙනු දුටුවහොත් පොලීසියට දන්වා සිටින සේ ඉල්ලා සිටින්න.
නීතිමය උපදෙස් ලබාගන්න. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ගැන අවබෝධයක් ඇති නීතිඥවරයෙක්/වරියක් වෙත ගොස් (custody) අන්භාරය/රැකවරණය බලන්නට පැමිණීම දික්කසාද විධිවිධාන (ඔබ හා දරුවන් සම්බන්ධයෙන්) යක දේ ගැන කරුණු සොයා බලන්න. විකල්පයක් ලෙස අතුරු ආරක්ෂක ආඥාවක් ලබාගැනීම ගැන විමසන්න. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක්වූවන්ට ආදාරක සේවා සපයන සංවිධානයකින් සහාය ඉල්ලන්න.


ආරක්ෂාව හා මානසික සෞඛ්‍යය


සහාය ලබාගන්න. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධ ගැටලූවල දී උදව් උපකාර කරන ආයතනයක් සමග කතා කර (WIN දුරකථන අංකය 0114718585) ඔබ මුහුණ පා ඇති විශේෂ තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගන්න.
ඔබට වඩාත්ම ආරක්ෂා සහිත දේ පිළිපදින්න. හිංසකයා සමග ඔබ කතාබහ කළ යුතුම නම් ඔබේ ආරක්ෂාවට හානියක් නොවන ලෙස දුරකථනයෙන්/ලිපියකින් හෝ එසේත් නැතිනම් තවත් කෙනෙකු සමග අවශ්‍ය දේ සාකච්ඡා කරගන්න.


ඔබේ දරුවන්ගේ ආරක්ෂාව


දරුවන්ගේ පාසල්වලට හා දරුවන්ට උද්ගතව ඇති තත්වය පැහැදිලි කරන්න. දරුවන් පාසලෙන් කැටුව යාමට අවසර ඇති අය ගැන දැනුම් දෙන්න. රහස්‍ය පණිවුඩ ක‍්‍රමයක් ඇත්නම් ඒ ගැනත් දැනුම් දෙන්න. හිංසකයාගේ ඡායාරූපයක් ඇත්නම් එය ද පෙන්වන්න.
ළමුන් හුවමාරු කරගැනීම : ළමුන් හිංසකයා සමග මුණගැස්සීමට නීතියෙන් අවශ්‍යතාවක් සපයා තිබේ නම් එම මුණගැස්සීම හෝ හුවමාරුව සඳහා ආරක්ෂා සහිත ස්ථානයක් තෝරාගන්න. සමහර ආයතනවල මේ සඳහා පහසුකම් සකසා ඇත. ඔබට උපදෙස් දෙන ආයතනයෙන් මෙවැනි විස්තර අසා දැනගන්න.


රැකියාවෙහි දී ආරක්ෂාව


ඔබ හොඳින් විශ්වාස කරන අයෙකුට උද්ගතව ඇති තත්වය ගැන කියන්න. අතුරු ආරක්ෂක ආඥාවක් හෝ ආරක්ෂක ආඥාවක් නිකුත් කර තිබේ නම් මෙය ඉතා වැදගත්ය. සේවා ස්ථානයේ දී ඔබට විශේෂ ආරක්ෂක පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වනු ඇත. (සේවා ස්ථානයට ද හිංසකයාගේ ඡායාරූපයක් පෙන්වන්න.)
කාර්යාල දුරකථන පණිවුඩ : හැකි නම් ඔබට ලැබෙන දුරකථන ඇමතුම් පිරික්සා බැලීමේ ක‍්‍රමයක් යොදාගන්න.
ආරක්ෂක සැලසුමක් : ඔබ සේවයට පැමිණෙන හා ඉන් පිටව යන වේලාවන් පිළිබඳව ද ආරක්ෂා සහිත වන්න. ඔබ යන එන වාහනය බහින හා ඊට නගින අවස්ථාවන්හිදී වුව ද විමසිලිමත් වන්න. ඔබ හා හිංසකයා එකට සේවා ස්ථානයක රැකියාවෙහි යෙදී සිටින්නේ නම් ඔබේ ආරක්ෂාව පිළිබඳ ගතයුතු කිසියම් මාර්ගයක් වේ නම් සේවා ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර ඊට අදාළ පියවර යොදාගන්න. සේවක හා පවුලේ වරප‍්‍රසාද ආදිය වේ නම් ඒ ගැන ද විමසා බලන්න.

මානව පුද්ගල ජාවාරමෙන් (කුට්ටනය) ආරක්ෂා වීමට උපදෙස්


ශ්‍රි ලංකාවේ මානව කූට්ටනය සහ අපයෝජනය බොහෝ විට සිදු වන්නේ කාන්තාවන් සහ පුරුෂයන් වඩාත් හොඳ ජීවන තත්වයක් උදෙසා වෙනත් නගරයක හෝ රටක රැකියා අවස්ථා සොයා යන අවස්ථාවලදීය. එමනිසා පූර්වාරක්ෂාව සපයා ගැනීම වැදගත් වන අතර:


ඔබට සේවා සපයන රැකියා ඒජන්සිය ලියාපදිංචි වී ඇත්දැයි සොයා බලන්න. ලියාපදිංචි වී ඇති ඒජන්සිවල නම් http://applications.slbfe.lk/feb/la/la_main.asp හි ඇත. නැත්නම් 011 2879900 අමතන්න.
ඔබට රැකියාව ලබා දීමට පැමිණෙන පුද්ගලයාගේ සුදුසුකම් ගැන සොයා බලන්න. එම උප නියෝජිතයා ලියාපදිංචි ඒජන්සිවලට සේවය කරන්නේදැයි සොයා බලන්න
ඒජන්සියේ නියෝජිතයන් මුනගැසීමට යන විට පවුලේ සාමාජිකයකු හෝ මිතුරෙකු සමඟ යන්න
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු ඉදිරියේ රැකියා ගිවිසුම අත්සන් කරන්න. අත්සන් කිරීමට පෙර එය කියවන්න
සේවා යෝජකයාගේ නම, ලිපිනය, දුරකථන අංකය වැනි තොරතුරු ඒජන්සියෙන් ලබා ගන්න
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන්න. එම ලියාපදිංචිය අනිවාර්ය වන අතර එයින් රක්ෂණ ආවරණයක් ද ලැබේ
ඔබගේ ඥාතියකු හෝ මිතුරකු විසින් ඔබට රැකියාව සොයා දුන්නත් එම ලියාපදිංචිය අනිවාර්ය වේ
එම ලියාපදිංචියේ විස්තර පවුලේ අයට හෝ මිතුරන්ට ලබා දෙන්න
ගුවන් ටිකට්පත, වීසා බලපත්‍රය සහ ගමනට අදාළ අනෙකුත් ලියවිලි පිළිවෙලින් තිබේදැයි බලන්න
ඔබගේ විදේශ ගමන් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත ඔබගේ ප්‍රධානියාටවත් නොදෙන්න
සෑම විටම ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ, ජාතික හැඳුනුම් පතේ, රැකියා ගිවිසුමේ සහ වෙනත් වැදගත් ලියවිලිවල ඡායා පිටපත් ළඟ තබා ගන්න
ඔබ විදේශ රටකට යෑමට පෙර එම රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ ලිපිනය ලබා ගන්න. හදිසි අවස්ථාවකදී ඔවුන්ව අමතන්න

පවුලේ සාමාජිකයකු සමඟ කෙළින්ම ගුවන් තොටුපොළට යන්න. ඒජන්සි නියෝජිතයා හෝ අතරමැදියකු සමඟ තනිව නොයන්න

ඔබට යම් ගැටළුවක් හෝ ප්‍රශ්නයක් ඇත්නම් බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොලේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කවුන්ටරයෙන් උපදෙස් ලබා ගන්න
වැඩි විස්තර සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අමතන්න +94 11 2879900 Ext. 902, නැත්නම් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න

සාදයකට සහභාගී වන විට

ඔබ උත්සව සඳහා, විශේෂයෙන් සාද සඳහා සහභාගී වන විට, ඔබ විශ්වාස කරන පුද්ගලයන් සමඟ යාමට වගබලා ගන්න.
ඔබ මිතුරන් කණ්ඩායමක් සමඟ සාදයකට හෝ උත්සවයකට සභාගීවන විට සියළු දෙනා එක්ව එම ස්ථානයට යන්න, එකිනෙකා ගැන සොයබලන්න, සියළු දෙනාම එක්ව එම ස්ථානයෙන් පිටත් වන්න.
ඔබගේ බීම වීදුරුවෙන් අවධානය ඉවත් නොකරන්න. නාදුනන තැනැත්තකුගෙන් හෝ විවෘත කවුන්ටරයකින් මේසයකින් බීමක් පිළිනොගන්න.
ඔබ හොඳින් හඳුනන්නේ නැති අයකු සමඟ ගමනක් යන්නේනම් ඔබගේ සැළසුම් සහ ඔබ යාමට බලාපොරොත්තුවන ස්ථානය පිළිබඳව සමීප මිතුරකු දැනුවත් කරන්න.
සෑම විටම නිවසට යාමට ප්‍රමාණවත් අමතර මුදලක් ළඟ තබාගන්න. ඔබට උපකාර අවශ්‍ය නම් ඇමැතිය හැකි අයකු පිළිබඳව සැළසුමක් තබාගන්න.
සෑම විටම ඔබගේ වටාපිටාව ගැන අවධානයෙන් සිටින්න.
ඔබ නොහඳුනන හෝ විශ්වාස නොකරන පුද්ගලයකු සමඟ හුදෙකලා වීමට ඉඩ නොතබන්න.
අඳුර වැටුණ පසු ආලෝකය ඇති ප්‍රදේශවල පමණක් ගමන් කරන්න.
ඔබ යහළුවන් සමග වාහනයක යන්නේ නම්, නැග්ග වේලාවේ සිට බහින තෙක් දොර අගුලු දමන්න.
කුලී රථයකින් යනවිට (ත්‍රී වීල්, කාර්, වැන්) අවධානයෙන් සිටින්න.
කුලී රථයකින් යනවිට යායුතු මාර්ගය රියදුරුට කියන්න. වෙනත් පාරකින්, නොදන්නා පාරකින් හෝ කරුවල පාරකින් යනනේ නම් ආපසු හැරෙන්න කියන්න. ඔහු නවත්වන්නේ නැති නම් 119 යෙන් පොලීසිය හෝ පවුලේ කෙනෙක් හෝ යහළු වෙක් අමතන්න.
දුරකථනය තිබෙන ස්ථානය මතක තබා ගන්න. හදිසි දුරකථන අංක ක්ෂණික ඇමතුම් අංක ලෙස ඇතු ළත් කරන්න.
මුලාශ්‍රය: https://www.safehelpline.org/ways-to-reduce-your-risk-of-rape-in-the-military#active-bystander-intervention

 

වෙන අයකු සමග සන්නිවේදනය

 

ඔබ අන් අයකු සමඟ සිටින විට ආරම්භයේ සිටම ඔහුට/ඇයට ඔබගේ සීමාවන් පැහැදිලිව සන්නිවෙදනය කිරීමට වගබලා ගන්න. පණිවුඩය හොඳින් තේරුම් ගත්තේ යයි සහතික කිරීමට වාචික සහ වාචික නොවන (ශරීර භෂාවා) සංනිවේදනය භවිතා කළ හැකිය.
පහත දේ සත්‍ය වූවත් ඔබට 'එපා' යයි පැවසීමට අයිතියක් ඇත:
 
ඔබ පලමුව 'ඔව්' යයි පවසා පසුව සිත වෙනස්කරගත්තේද
මෙම සහකරු සමඟ මීට පෙර ලිංගිකව එක්වී තිබුණේද
එම තැනැත්තාව සිප ගනීමක් කර තිබුණේද
හැගීම් අවුස්සන සුළු ඇදුම් ඇඳ සිටියද (ඔබ ඇඳ සිටින ආකාරය ලිංගිකව එක්වීමට හෝ හිංසනයට ඇරයුමක් නොවන බව මතක තබා ගන්න!)
ඔබට අපහසුතාවක්, බියක් හෝ පීඩනයක් දැනේනම් වහාම ක්‍රියාත්මක වී එම අවස්ථාව අවසන්/නිමා කරන්න. 'නවත්වන්න' යයි පවසා එතනින් ඉවත්ව යන්න, නැත්නම් උපකාර ඉල්ලන්න.




තොරතුරු ලබාගන්නා නිළධාරියාගේ කාර්යභාරය

හිංසනයට භාජනය වූ ප‍්‍රවර්තක අය හෝ දැනුම් දෙන්නා විසින් සැපයෙන තොරතුරු ඔහු හෝ ඇය භාවිත කරන භාෂාවෙන්ම සටහන් කරගැනීම.
නිලධාරියාට, හිංසනයට භාජනය වූ ප‍්‍රවර්තක අය හෝ දැනුම් දෙන අය විසින් කතා කරන භාෂාව සටහන් කර ගැනීමට නොහැකි නම් පැමිණිල්ල ලියවිල්ලකින් හෙවත් ලිඛිතව ඉදිරිපත් කළ හැකිය.
හිංසනයට භාජනය වූ ප‍්‍රවර්තක තැනැත්තාට මෙම තොරතුරු ලියා ඉදිරිපත් කිරීමට නොහැකි නම් නිලධාරියාට එම තොරතුරු සිංහලෙන් හෝ දෙමළ බසින් සටහන් කරගෙන එම සටහන අත්සන් කිරීමට පෙර ලියාගත් සටහන කියවා පැහැදිලි කර දිය යුතු වේ.
කවර හෝ විස්තර තොරතුරක් පොලිස් නිලධාරියා විසින් ලිඛිතව සටහන් කරගන්නා විට එම විස්තර තොරතුරු සැපයූ තැනැත්තාට ඇසෙන සේ කියවා ඉක්බිතිව තොරතුරු සැපයූ අය විසින් අත්සන් කළ යුතුය.
මෙම තොරතුරු අනවශ්‍ය ප්‍රමාද වලින් තොරව තොරතුරු ලේඛනයේ සටහන් කළ යුතුය.
මෙම පැමිණිලි විස්තර සටහන් කරගන්නා නිලධාරියා, එම පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරී (OIC) නොවේ නම් ඔහු/ඇය තමා සටහන් කරගත් පැමිණිල්ල ස්ථානභාර නිලධාරීතුමා වෙත දන්වා සිටිය යුතුය.


අපරාධයක් පිළිබඳව පැමිණිලි කළ යුත්තේ කෙසේ ද?


අපරාධයක් පිළිබඳව ඔබට ළඟම සිටින මහේස්ත‍්‍රාත්තුමා / තුමිය, පොලිස් ස්ථානය හෝ ග‍්‍රාම නිලධාරී වෙත පැමිණිලි කළ හැකිය.
ඔබේ පැමිණිල්ල සිංහල / දෙමළ හෝ ඉංගී‍්‍රසි බසින් වාචිකව හෝ ලියා ඉදිරිපත් කළ හැකිය.


ස්තී‍්‍ර දූෂණය, ව්‍යාභිචාරය, ලිංගික හිංසනය හෝ දැඩි ලිංගික අපයෝජනය යන මේ ආදී ලිංගික ප‍්‍රචණ්ඩත්වයන් පිලිබඳ පැමිණිලි කිරීමේ ක්‍රියාවලිය


කායික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිද්ධියක් නම්, බලයලත් වෛද්‍ය නිළධාරීවරයකු ලවා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගත යුතුය. කෙස්, ශරීර තරල, කෙඳි සහ වෙනත් සාක්ෂි කිසිවක් ඇත්නම් ඒවා රැස්කර ගැනීම වෛද්‍යවරයාගේ වගකීමයි. ශරීරයට බරපතල තුවාල සිදුවී ඇති ආකාරයේ ඕනෑම සිදුවීමක් අධිකරණ වෛද්‍ය නිළධාරියාට හෝ පොලීසියට දැනුම් දීම වෛද්‍ය නිළධාරියා වගකීමෙන් බැඳී සිටී.
ළඟම ඇති පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කරන්න.
එම පොලිස් ස්ථානයෙහි කාන්තා හා ළමා ආරක්ෂක ඒකකයක් ඇත්දැයි විමසා බලන්න. එසේත් නැතිනම් ඔබ පිරිමි පොලිස් නිලධාරියෙකුට වඩා කාන්තා පොලිස් නිලධාරිනියකට කතා කිරීමට කැමති නම් කාන්තා පොලිස් නිලධාරිනියකගේ සේවය ඉල්ලන්න. සිද්ධියට අදාළ සියලු තොරතුරු ආවරණය වී ඇති බවට වග බලා ගන්න.
ඔබගේ ප්‍රකාශය අත්සන් කිරීමට පෙර හොඳින් කියවා බැලීමට වග බලා ගන්න.
පැමිණිල්ල සටහන් කරගැනීමට අමතරව පොලීසිය විසින් භෞතික සාක්ෂි එකතු කිරීම සහ සාක්ෂිකරුවන් ඇත්නම් ඔවුන්ගෙන් කට උත්තර සටහන් කරගැනීමද කරනු ලැබේ.
පොලීසිය සමග මෙම කතාබහට සමහර විට පැය කිහිපයක් ගතවිය හැක. ඔබ මුහුණ පා ඇති සිද්ධිය අනුව සමහර කරුණු හාරා අවුස්සා බලන ස්වභාවයක් ගනු ඇත. සිද්ධිය පිළිබඳව කිහිප වාරයක් විස්තර ඇසීමට ඉඩ ඇත. හිංසකයාට විරුද්ධව ප‍්‍රබල සාක්ෂි සහිත චෝදනාවක් කිරීම සඳහා පොලීසියට මේ සෑම විස්තරයක්ම පැහැදිලිව නිවැරදිව අවශ්‍ය වීම මෙසේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට බොහෝ විට හේතු වේ.
ඔබට මතක ඇති සියලු විස්තර හැකි ඉක්මණින් ලියා තැබීමෙන් පොලීසියට තොරතුරු සන්නිවේදනය කිරීම පහසු කරයි.
මෙවැනි සිද්ධීන් පැමිණිලි කිරීමේදී උදව් කරන යම් යම් සංවිධාන ඇත. ඔබට කිසියම් පැටලිලි හෝ සැක සහිත කරුණක් වේ නම් ඔබට එවැනි සංවිධානයක සහාය ලබාගත හැකිය. අවශ්‍ය නම් එවැනි සමහර සංවිධාන පොලිස් ස්ථානයට හෝ රෝහලට වුව ද ඔබ හා කැටුව යාමට පැමිණෙනු ඇත. (සේවා සපයන්නෝ)


පොලීසියට වාර්තා කිරීමට නියමිත කාලසීමාව


ලිංගික අපයෝජනයක් සිදු වී ඇති විට හැකි ඉක්මනින් ඒ පිළිබඳ පොලීසියට වාර්තා කළ යුතු වේ. ඊට හේතුව සාක්ෂි නැතිවීම වලක්වා ගැනීමට සහ වැඩිදුර පරීක්ෂණවලට සහයක් වශයෙනි.
ඔබට සිදු වූ දේ අපරාධයක් ද නැද්ද යන්න ගැන ඔබට සැකයක් ඇත්නම් පළමුව ඒ ගැන පැමිණිලි කර සිටින්න. ඔබට ඇති සැකය පොලීසිය සමග හෝ උපකාරක සංවිධානයක් සමග කතා කර පසුව විසඳා ගත හැකිය.
අපරාධයක් පිළිබඳව පැමිණිලි කිරීමට නීතියෙන් උපරිම වශයෙන් අවුරුදු 20 ක කාලසීමාවක් ඇත.


ඔවුන් එය අපයෝජනය ලෙස හඳුනා නොගැනීම
එය සාමාන්‍ය සිද්ධියක් ලෙස පිළිගැනීම
පැමිණිළි කිරීමට අනුබල නොදෙන පරිසරය
හිංසකයා මත වෙනුවට හිංසනයට ලක්වූ තැනැත්තා මත වරද පැටවීමේ සාමාන්‍ය පුරුද්ද
තමන්ගේ සහ තම පවුලේ ආරක්ෂාව පිළිබඳව ඇති බිය
තත්වය තවත් නරක අතට හැරේයයි යන බිය - ප්‍රචණ්ඩත්වය වැඩි වීම
තමන්ව විශ්වාස නොකරයි, විහිළුවට ලක්වෙයි යන බිය
තමන්ගේ කීර්ති නාමයට සහ පවුලට කැළලක් වේ යයි යන බිය
සේවා ස්ථානය තුළ ලිංගික හිංසනය සම්බන්ධ සිද්ධියකදී තමන්ගේ රැකියාව අහිමි වේ යයි ඇති බිය
නෛතික සහන සම්බන්ධ අවබෝධය අඩු වීම
හිංසකයා මත යැපෙන්නට සිදු වී තිබීම
හිංසකයාගේ ඥාතියකු වීම හෝ ඔහු සමඟ සමීප සබඳතාවක් තිබීම
සිදුවූ දෙය වරදක් හෝ අපරාධයක් යන ගණයට අයත් වේ දැයි නොදැන සිටීම