කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඔවුන්ගේ මානව හිමිකම් දැඩිව උල්ලංඝනය කිරීමකි. ඔවුන්ගේ පුද්ගලික හෝ පොදු ජන ජීවිතයේ දී ශාරීරික, ලිංගික හෝ මානසික හිංසා කිරීම, ප‍්‍රචණ්ඩ හිංසනය, බලහත්කාරකම් කිරීම හෝ ඔවුන්ගේ නිදහස අහිමි කිරීම මීට ඇතුළත් වේ. කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය එක් රටකට හෝ කලාපයකට සීමා නොවේ. විවිධ සමාජ-දේශපාලන, ආර්ථික, සංස්කෘතික, ආගමික, ගෝත්‍රික සහ වාර්ගික පුරුදු මත එය බොහෝ විට කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට වෙනස් ආකාරයෙන් බලපෑම් ඇති කරයි.


හිංසනයට පත්වන්නෝ කවුද ?

වයස, සමාජ පන්තිය‚ වර්ගය‚ ආගම‚ කුලය හා ස්ථානය යන මේ ආදීන්ගේ කිසිම විශේෂත්වයකින් තොරව කාන්තාවන් හා ගැහැණු ළමුන් හිංසනයන්ට ගොදුරු වෙති.


කාන්තාවන්ට එරෙහිව බහුලව සිදු කෙරෙන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා

සහවාසය කරන සහකරුගෙන් එල්ල වන ප‍්‍රචණ්ඩත්වය භීෂණය‚ වෛවාහික දූෂණය, ලිංගික අපචාර හා ප‍්‍රචණ්ඩත්වය සහ/හෝ හිංසනය‚ දෑවැදි සම්බන්ධ හිංසනය‚ සහකරු නොවන අයගෙන් එල්ල වන හිංසනය‚ ගෘහ සේවකයන්ට එල්ල වන හිංසන හා අඩන්තේට්ටම්‚ මානව පුද්ගල ජාවාරම් හා කාමෝද්දීපන ප‍්‍රබන්ධ වැනි වෙනත් ආකාර අපයෝජන‚ සමාජ සිරිත් විරිත්‚ සංස්කෘතිය, සම්ප‍්‍රදාය සහ/හෝ ආගම මුවාවෙන් කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට සිදු කෙරෙන හිංසාකාරී වත් පිළිවෙත් ද ඇතුළුව කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වයන් බොහෝය.


ගැහැණු ළමුන්ට එරෙහිව බහුලව සිදු කෙරෙන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා

ඉහත සඳහන් බහුවිධ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන්ට අමතරව ගැහැණු ළදරු ඝාතන, බාලවයස්කාර විවාහ හා බලෙන් විවාහ කිරීම් ද ගැහැණු ළමුන්ට එරෙහිව සිදු කෙරෙන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අතරට ඇතුළත් වේ.


මේවා සිදු විය හැක්කේ කොහේ ද ?

නිවස, පවුල තුළ, ජනසමූහ, වැඩපොළ හා සේවා ස්ථාන, පොදු ගොඩනැගිලි හා ස්ථාන, ගමනාගමනය කෙරෙන වාහන, බස් නැවතුම්පොළවල් ආදී මගී සේවා ස්ථාන, යන මේ ආදී ඕනෑම තැනකදී ද එසේම ස්වභාවික ව්‍යසන, රටවල් අභ්‍යන්තර අවුල් වියවුල් හා ගැටුම්, යුද්ධ හෝ පොදු කලකෝලාහාල යනාදී විවිධ අවස්ථා හා ඒ හේතුවෙන් අභ්‍යන්තර අවතැන් වීම් බහුලව වන විට දී ද කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍්‍රචණ්ඩකාරී තත්වයන් හා සිදුවීම් උද්ගත විය හැකිය. මුලාශ්‍රය: http://www.saynotoviolence.org/issue

 

 

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විධිමත් නිර්වචන

ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාර වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය (සීඩෝ සම්මුතිය) මගින් වෙනස්කම් පිළිබද ප්‍රශ්නය ඉස්මතු කිරීම තුළින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අඩිතාලමක් සපයා ඇත.

එහි කාන්තාවන්ට එරෙහි වෙනස්කම් මෙසේ නිර්වචනය කොට ඇත.

" කාන්තාවන් විසින්, ඔවුන්ගේ විවාහක / අවිවාහක බව නොතකා, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මත පදනම්ව මානව හිමිකම් සහ දේශපාලන ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක මූලික නිදහස හඳුනාගැනීම, භුක්ති විඳිම හෝ භාවිත කිරීමේ හැකියාව හානි කිරීමේ හෝ අහෝසි කිරීමේ අරමුණ හෝ අභිප්‍රාය ඇතිව, ලිංගිකත්වය මත පදනම්ව සිදුකරන යම් වෙනස්කම, බැහැර කිරීම හෝ සීමා කිරීම"
පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව හඳුනාගෙන එය නිර්වචනය කළ ප්‍රථම ජාත්‍යන්තර ලේඛනය වන්නේ 1993 වසරේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියයි. (මෙය වියානා ප්‍රඥප්තිය ලෙසද හැඳින්වේ).

එහි පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය මෙසේ නිර්වචනය කොට ඇත

1 වන වගන්තිය
ශාරීරික, ලිංගික හෝ මානසික අනතුරක් හෝ දුක් පීඩාවක් හෝ ඇති කරන හෝ ඇති කිරීමට හැකියාවක් ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කොට ගත් ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එවැනි ක්‍රියා සිදු කරන බවට බිය ගැන්වීම පෙළඹවීම හෝ පොදු හෝ පෞද්ගලික ජීවිතයේ නිදහස හිතුමතේ අහිමි කිරීමද මෙයට ඇතුළත්ය.

2 වන වගන්තිය
ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට මෙහි දැක්වෙන සියලුම දෑ අඩංගු වන අතර ඒවාට පමණක් සීමා නොවේ.
 
පහර දීම, නිවසේ ගැහැණු දරුවන් අපයොජනයට ලක් කිරීම, දෑවැදි සම්බන්ධ ප්‍රචණ්ඩත්වය, වෛහික දූෂණය, ස්ත්‍රී ලිංග අවයව ඡේදනය හා කාන්තාවන්ට හානිකර එවැනි සම්ප්‍රදායික සිරිත්, සැමියා නොවන අයගෙන් සිදු වන ප්‍රචණ්ඩත්වය මෙන්ම සූරාකෑමට අදාළ ප්‍රචණ්ඩත්වය ඇතුළත් පවුල තුළදී හෝ අධ්‍යාපනික ආයතනයකදී හෝ වෙනත් ස්ථානයකදී සිදුවන ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය.
දූෂණය, ලිංගික අපයෝජනය, සේවා ස්ථානයකදී සිදු වන ලිංගික අතවර සහ බිය වැද්දීම්, නීති විරෝධී ලෙස ස්ත්‍රීන් ප්‍රවාහනය සහ බලයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුලත්වූ සාමාන්‍ය ප්‍රජාව තුළදී සිදු වන ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය.
සිදු වන ස්ථානය කෙබඳු වුවද, රජය විසින් අනුමත කරනු ලබන හෝ ඉවසා සිටින ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය.
මෙම ප්‍රඥප්තිය මඟින් ප්‍රචණ්ඩත්වය පිළිබදව පුළුල් අර්ථකථනයක් ලබා දෙයි.
සම්ප්‍රදායික හෝ ආගමික හේතූන් මත කාන්තාවන්ට මුහුණ පෑමට සිදු වන ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජයට ඇති වගකීම පැහැර හැරිය නොහැක.
ප්‍රචණ්ඩත්වය වැලැක්විම සඳහා පුළුල් ප්‍රවේශයෙන් ව්‍යාප්ත කිරිම, ජාතික සැළැස්මක් ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යාන්තර සහයෝගීතා ජාල පිහිටු වීම වැනි දේ ඇතුළත් පුළුල් වගකීම් පරාසයක් රජය සතු වේ. මුලාශ්‍රය: http://www.un.org/documents/ga/res/48/a48r104.htm
රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ වල ක්‍රියාදාමයන්ට රජය වගකිව යුතු අතර, එමඟින් පොදු සහ පෞද්ගලික ක්ෂේත්‍රයන්හී ප්‍රචණ්ඩත්වයද ආවරණය වේ.

 

 

කාන්තාවන් හා ගැහැණු ළමයින්ට එරෙහිව ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම වූ ප‍්‍රධාන හිංසන

ප්‍රචණ්ඩත්වය පහත ආකාරයෙන් වර්ගකර ඇත

ශාරීරික
උද්වේගශීලී හා මානසික හිංසනය
වාචික
ලිංගික
ආර්ථික
අන්තර්ජාල හා තොරතුරු තාක්ෂණ උපයෝගී කරගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ප‍්‍රගුණ කිරීම








කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට බහුවිධ ප‍්‍රචණ්ඩත්වයන් එල්ල විය හැකිය’ නිදසුන් වශයෙන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් ඇත්ත වශයෙන් ශාරීරික, ලිංගික, මානසික හා ආර්ථික යන මේ සියලූ ආකාර හිංසනයන්ට ලක්වන්නීය. කෙසේ වුවත් යම් කාන්තාවක් උද්වේගශීලී/මානසික ප‍්‍රචණ්ඩතවයට පමණක් ලක් වුව ද ඇය කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට භාජනය වූ තැනැත්තියක ලෙස සැලකිය යුතු වන්නේය. එම තත්වය නොසලකා හැරිය නොහැකිය.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබද නීති සදහා


ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහිව බහුලවම සිදුවන ප‍්‍රචණ්ඩත්වයන්:

ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය
ලිංගික හිංසනය
ස්ත්‍රී දූෂණය
ව්‍යාභිචාරය
බරපතල ලිංගික අපහරණය
මානව පුද්ගල ජාවාරම (කුට්ටනය)
තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප‍්‍රචණ්ඩත්වය